Language Switcher

V2025

මහින්ද කී සහෝදරයා "චමල්" - වාසු : වෙල්ගම මහින්දගේ රෙදි ගලවයි !

හින්දු පුවත්පත සමග සාකච්ඡාවක දී තමන්ගේ සහෝදරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යයි කීමෙන් මහින්ද රාජපක්ෂ මහතා අදහස් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පිළිබඳව යයි පෙනී යන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශකර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් දක්වීම අර්ථකථනය කරගත හැක්කේ ඒ ආකාරයට පමණක් බව ඔහු පවසයි.

දැනට දේශපාලනයේ නියුතු වන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ එකම සහෝදරයා වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා බව ඔහු පෙන්වා දෙයි.

හින්දු පුවත්පත සමග සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දෙදෙනා විසින් විමසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයකු මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න පිළිබඳවය. එහිදී නාමල් රාජපක්ෂ මහතාගේ වයස් සීමාව හේතුවෙන් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත්, සහෝදරයාට ඉදිරිපත්විය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි. 

කෙසේ වෙතත් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව පක්ෂය විසින් තීරණයක් ගතයුතු බව ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා තිබේ.

නාමල් රාජපක්ෂ මහතාට ඇති වයස් සීමාව මෙන්ම බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාට ද සීමා ඇතැයි පවසන වාසුදේව නානායක්කාර මහතා කීය. ''මගේ සහෝදරයා වන තනි පදය යෙදීමෙහි අර්ථය වන්නේ දේශපාලනයෙහි යෙදෙන තම සහෝදරයන් අතරින් සුදුසුකම් ඇති සහෝදරයා, මහින්ද රාජපක්ෂ මහතා අදහස් කර ඇති බව'' යැයි ඔහු පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයකුවත් තවම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නොමැති බවත් එසේ පුරවැසිභාවය ඉවත්කර නොගෙන ඔවුන් දෙදෙනා ජනාධිපතිවරණ අපේක්ෂකයන් බවට පත් කිරීම පිළිබඳව සලකා බැලීම වත් කළ නොහැකි බව වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ජනාධිපති අපේක්ෂකයා සමබන්ධයෙන් කල ප්‍රකාශය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුල යළි ගැටුමක් හටගෙන ඇති බව වාසුදේව නානායක්කාර මහතාගේ මෙම ප්‍රකාශය මගින් පෙන්නුම් කරයි.

තවත් සිරිසේන කෙනෙක් හදන්නද ඕන - වෙල්ගම මහින්දගේ රෙදි ගලවයි !

ඒකාබද්ධයේ ප්‍රබලයකු වන කුමාර වෙල්ගම මහතා ද ඊයේ මෙවැනිම ප්‍රකාශයක් කල අතර පවුල් වාදය රටට නොගැළපෙන බවත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලට පමණක් සීමා කිරීම සම්බන්ධව තමන් දැඩිව විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එහිදී පවසා තිබිණ.

වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට ඉන්දීය සංචාරය අතරතුර ” ද හින්දු” පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සම්මුඛ  සාකච්ඡාවකට එක් වෙමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්ය.
එහිදී ඔහු මෙසේද සඳහන්කර තිබේ.

මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ.  

පවුල්වාදය නිශ්චිතව පරාජය කළ යුතුයි !

මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කර සිටින්නේ රාජපක්ෂ පවුල්වාදය නිශ්චිතව පරාජය කල යුතු බවත් එක පවුලක් වටා රටේ දේශපාලන කේන්ද්‍රයක් බිහිවීම ආසියාවේ සාමාන්‍ය අත්දැකීමක් වුවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ජාන ලක්ෂණ සහිත රෙජීම පාලනයක් පැවතීම රට අවධානමේ වැටීමක් බවයි. 
එසේම දුෂණ විරෝධී සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ  මහින්ද රාජපක්ෂ මහතා ඔවුගේම පවුලේ අයකු ඉහලට ඔසවා තිබීමට මෙසේ උත්සහ දරන්නේ යලිත් ජනතා දේපල මංකොල්ල කෑමට බවය. ඒ හැර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජේෂ්ඨ දේශපාලනඥයන් රැසක් සිටින අතර රාජපක්ෂවරයෙකුම ජනාධිපති අපේක්ෂකයකු කිරීමට වෙනත් කිසිඳු හේතුවක් නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.