Language Switcher

V2025

යුද්ධයට මුවා වී සිදුකළ අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - පාඨලී

යුද්ධයට මුවා වී පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් සිදුකළ අපරාධ සඳහා නීතිය කඩිනමින් කි‍්‍රයාත්මක කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘බෙදුම්වාදී ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලිය යුධමය වශයෙන් පරාජයට පත් වෙලා ලබන වසරේ මැයි මාසය වන විට වසර 10 ක් ගතවෙනවා. නමුත් මේ ප‍්‍රශ්නය නිසා ඇති වූ ඇතැම් නීතිමය ගැටළු, සමාජමය ගැටළු ජාත්‍යන්තර ගැටළු විසඳගන්න පුළුවන් ගැටළු තවමත් නොවිසඳී එකින් එක පැටලෙමින් අවුල් වෙමින් ඉදිරියට යන ස්වරූපයක් අපට තිබෙනවා. 

එක පැත්තකින් එවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ රජය තමන් ත‍්‍රස්තවාදීන් කියලා පිළිගත්ත, පාපොච්චාරණය කළ, අවි බාරදුන් 12,000 කට අධික ප‍්‍රමාණයක් කෙටි පුනරුත්ථාපනයකින් පසුව සමාජයට මුදා හැර තිබෙනවා. ඒ වගේම තවත් එල්.ටී.ටී.ඊ යම් යම් පිරිස් ගණනාවකට චෝදනා නගල අධිකරණයේ නඩු පවරලා තිබෙනවා. දැනට 60 දෙනෙකුට පමණ ආසන්න ප‍්‍රමාණයකට නඩු පවරලා තිබෙනවා. එහෙම නැත්නම් නඩු පවරන්න යනවා ඒ යුද වකවානුවේ සිදු වූ නොයෙක් සිදුවීම් සම්බන්ධයෙන්.

ඊට අමතරව කාලාන්තරයක් මුළුල්ලේ මේ යුද්ධයත් සමග ගැටගැහිච්ච ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ පිරිස්වලට විටින් විට නඩු පැවරීම් කෙරෙනවා, දඬුවම් දෙනවා වගේ කි‍්‍රයාදාමයන් සිදු වෙනවා. ඒ වගේම මෙයට සම්බන්ධයක් නැති වෙනත් පෞද්ගලික අපරාධයන් සම්බන්ධයෙනුත්, ජනමාධ්‍යවේදීන් ඝාතනයන් වැනි යම් යම් සිදුවීම් මතුවෙලා ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ට අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවා. මේ තත්වය තුළ අපට පෙනෙනවා සෑහෙන ව්‍යාකූලතාවයක් රටේ ආරක්‍ෂක අංශවලත් සමාජයෙත්, ජාතික ජාත්‍යන්තරවත් ඇති වී තිබෙනවා. අපි විධිමත් ප‍්‍රතිපත්තියක් මේ පිළිබඳව අනුගමනය නොකිරීම නිසා සමහරු කියන්නේ, විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන නීතිය අකුරට තරාතිරම නොබලා ස්වාධිනව කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. අපට කියන්න පුළුවන් ප‍්‍රතිපත්තියක් හැටියට ඒක අපි පිළිඅරගෙන ස්වාධිනව නීතිය අකුරට කි‍්‍රයාත්මක කළොත් මොකද වෙන්නේ, අර තමන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යැයි කියා පිළිගත්ත ඒ වගේම කෙටි පුනරුත්ථාපනයකින් පසුව මුදා හැරපු, එම මුදාහැරීම සඳහා කිසිම අනපණතක් පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නැහැ. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තෙත් නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ සියළු දෙනාම නැවත අත්අඩංගුවට ගන්න වෙනවා. මොකද එල්.ටී.ටී.ඊ. සංවිධානය නීති විරෝධි සංවිධානයක්, මේ රටේත්, විදේශ රටවලත් මෙය තවමත් ත‍්‍රස්තවාදී සංවිධානයක්.  එහි සාමාජිකයන්ව සිටි අය සන්නද්ධව සටන් කළාය කියලා අවිත් සමග භාර වූ  පිරිසක් ඒ ආකාරයට කිසිම පනතක් හෝ නීත්‍යානුකූල පසුබිමකින් තොරව නිදහස් කළා නම්, නීතිය හැමෝටම සමාන නම්, නීතියට ඉහළින් කවුරුත් නැතිනම්, ඒ 12,000 කට අධික පිරිසම අත්අඩංගුවට ගන්න වෙනවා.

විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. යේ ඉහළම ගණයේ නායකයින් වෙච්ච රාම්, නගුලන්, කේ. පී. වැනි අය අද නිදහස් ජීවිත ගත කරනවා. මේ මෑතදි නම් යම් යම් පිරිස් අත්අඩංගුවට පත්වෙනවා වෙනත් වෙනත් කරුණු නිසා. නමුත් මේ පිරිස්වලට නීතිය කි‍්‍රයාත්මක වෙලා නැහැ. ඉතින් මේ නීතිය හැමෝටම සමව කි‍්‍රයාත්මක වනවා නම් ඒ අයුරින් කි‍්‍රයාත්මක විය යුතුයි. නමුත් අද ප‍්‍රායෝගිකව එවැන්නක් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඇතැම් විදේශීය හා දෙමළ දේශපාලනඥයින් කියන්නේ එල්.ටී.ටී.ඊ යට දඬුවම් කරන්න බැහැ. හැබැයි හමුදාවේ අයට දඬුවම් කළ යුතුයි කියා. අතුරුදහන් වූවන්ගේ සමාගම් වැනි ඒවා ඇති කරලා උද්ඝෝෂණ ආදිය සිදු කරනවා. එහි වරද කරුවෝ යුද හමුදාව ඇතුළු එම ආයතනවලට දඬුවම් කරන්න කියලා. ඒ අතරෙ තවත් පිරිසක් කියනවා රණවිරු දඩයමක් කි‍්‍රයාත්මක වෙනවා කිසිම ආකාරයක නීතියක් කි‍්‍රයාත්මක වන්න බැහැ, පුද්ගලික අපරාධයකටවත් හමුදාවේ අය අත්අඩංගුවට ගන්න බැහැ වැනි අදහසක් පළකරගෙන යනවා. මෙය ඉතින් ජාත්‍යන්තර වශයෙන් ඉතාම අමනෝඥ කි‍්‍රයාවලියක් බව කිව යුතුයි.

අපි හිතනවා දැන් මේ ප‍්‍රශ්නය අපි ඉවර කළ යුතුයි. මේ ගැටළුව නිසා තවත් දශක ගානක් ඉදිරියට යන්න බැහැ. මේ රටේ එල්.ටී.ටී.ඊ කැරැුල්ල විතරක් නෙමෙයි ඇතිවුණේ. මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ  කැරැල්ලකුත් ඇතිවුණා. ඒ කැරළිකාරී කි‍්‍රයාවලියත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් තමයි. ඒ ක්‍රියාවලියේදී මොකද සිදුවුණේ. ඒ කි‍්‍රයාවලියට සම්බන්ධ ඇතැම් පිරිස් මිය ගියා, ඇතැම් අයට නඩු දැම්මා, එයට සම්බන්ධ වූ හමුදා නිලධාරීනුත් වගේම ජවිපෙ සමාජකයනුත් නිරුපද්‍රිතව ඉන්නවා. එහෙම ගැටළුවක් ඒ අයට පැනවිලා නැහැ. එය එක්තරා නිල නොවන ආකාරයක පොදු සමාවක් ශ‍්‍රී ලංකා රාජ්‍යය ජනතා විමුක්ති පෙරමුණට ලබාදුන්නා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් නිල නොවන මට්ටමින් එය පිළිගත්තා. නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට තිබුණා  චිත‍්‍රාංගනී විජේවීර මැතිණියට කලින් උසාවියට ගොස් කියන්න තමන්ගේ නායකයා වූ විජේවීරව නීති විරෝධිව ඝාතනය කළා කියලා. ඒ ඝාතනය සියැසින් දුටු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරුත් සිටියා. එවැන්නක් ජවිපෙ විසින් සිදු කළේ නැහැ. ඒ මගින් ජවිපෙ පෙන්වා දුන්නෙත්  රජය මගින් කිසියම් ආකාරයක පොදු සමාවක් ලබා දී තිබෙනවා, අපත් ඒ ආකාරයෙන් එය භාර ගන්නවා කියන එක.

මේ සමාජයේ ජවිපෙ පමණක් නෙමෙයි අවි ගත්තේ, ජවිපේ ඝාතනයට ලක් වූ වාමාංශික කණ්ඩායම් නොයෙක්  අය, නොයෙක් පිරිස් ප‍්‍රා, සා, උකුස්සා ආදී සංවිධාන පිහිටුවාගෙන ඝාතන සිදු කළා. ඒ අයත් අද නිරුපද්‍රිතව ඉන්නවා. කට්ටියක් මිය ගියා. විශාල පිරිසක් දේශපාලනයේ බලගතු තැන්වල ඉන්නවා. ඒ අය සම්බන්ධයෙනුත් මොකුත් නීතියක් කි‍්‍රයාත්මක වෙලා නැහැ. ඒ අයත් එක්තරා දුරක පොදු සමාවකට යටත් වෙලා 1994 න් පස්සේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ පරිච්ඡේදය අපි අමතක කරලා තිබෙන්නේ. ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇවිල්ලා, ඒ පරණ කාරණා මත නීතිමය කාරණා මොකවත් මුදා හැර නැහැ. එය අපි පිළි අරන් තිබෙනවා.

මෙයට සමාන  තත්වයක් තිබූ දකුණු අපි‍්‍රකාවෙත් සත්‍ය කොමිසම හරහා සෑම පිරිසක්ම මෙවැනි එකිනෙකාට  සමාව දීමේ කි‍්‍රයාවලියක නියැලූණා. මේ මෑතකදී කොලොම්බියාවේ පාර්ක් ගරිල්ලා ව්‍යාපාරයේ, එය තමයි ඉතිරිවෙලා තිබූ එකම ඉස්ලාමීය නොවන ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අවි බිම තබලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවා රජයෙන් සියළු දෙනාටම පොදු සමාවක් ලැබුණා.

අපි කියන්නේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සියලූම දේශපාලන පක්ෂවලට, ජාතික, ජාත්‍යන්තර මෙවැනි දේ ගැන උනන්දුවන මානව හිමිකම් සංවිධානවලට මේ අවස්ථාවේදී කරුණු කිහිපයක් යෝජනා කරනවා. ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුයි, පරාජය කළ හැකියි කියලා කිව්වේ, ඒ වෙනුවෙන් කි‍්‍රයා කළේ, සමහරු කකුල් පණ නැතිව වැඩකරනකොට දෙපයින් සිට සටන් කළේ අපි. ඒමත පදනම්වෙලා නමුත් මේ ප‍්‍රශ්නය අර 'නහී වේරේණ වේරාණි" කියන බුදු වදනට අනුව දිගට දිග්ගැහිච්ච කාරණයක් ලෙස ගෙන යාමෙන් මේ තුවාලය පෑරෙනවා මිස, ඒ පෑරීම නිසා මේ සමාජයට ලැබෙන කිසිම සුගතියක් නැති නිසා මේ කරුණු රජයට යෝජනා කරන්න කැමතියි.

පළමුව එකින් එකට බැඳුණු කරුණු පහක් අපි ඉදිරිපත් කරනවා, ඒ පහම එකටම කි‍්‍රයාත්මක කළ යුතුයි එක කොටසක් පමණක් ක‍්‍රියාත්මක කිරීමන් අත්වන ප‍්‍රයෝජනයක් නැහැ. අපි ඉල්ලා සිටිනවා, ජනාධිපතිතුමා, අගමැතිතුමා ප‍්‍රමුඛ රජයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඒ හා බැඳිච්ච වෙනත් නීති විශේෂඥයෝ අරගෙන දැනට රටේ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ වගයක් අත්අඩංගුවේ සිටිනවා. යුධ හමුදාවේ සාමාජිකයන් හා ආරක්‍ෂක අංශවල පිරිස් අත්අඩංගුවේ සිටිනවා. ඒවගේ මේ ආරක්‍ෂක අංශවලට සහය දුන්නාය කියන ඇතැම් දෙමළ සංවිධානවල පිරිස් වැනි නොයෙක් අය අත්අඩංගුවේ සිටිනවා. මේ හැම කෙනාගේම අපරාධ පිළිබඳව වර්ගීකරණයක් කරන්න. එතනදී යුද්ධ කි‍්‍රයාදාමයේදී සිදු වූ ඒ අභිමතාර්ථ සාධනයේදී සිදු වූ අපරාධ මොනවාද?, පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ඨ කර ගන්න, කප්පම් ගන්න, එහෙම නැත්නම් බය කරන්න නැත්නම් වෙනත් දෙයක් කරන්න පෞද්ගලික මට්ටමින් අභිමතාර්ථ ඉටුකර ගන්න ගිය අපරාධ මොනවාද කියලා වර්ගීකරණයක් සිදු කරන්න. දෙවන කාරණය එම වර්ගීකරණය සිදු කර යුධ අභිමතාර්ථ සාධනය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ සාමාජිකයින් ඒ වගේම ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවත් සමග එකට කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයින් යම් යම් අය අත්අඩංගුවේ සිටිනවා නම් ඒ අයට පොදු සමාවක් ලබාදී මේ සිද්ධියෙන් ඒ අය නිදොස් කර සමාජයට එළිදක්වන්න. ඒ වගේම දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි කියන පිරිස් ඒ අයගේ යුධ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා සිදුකළා වූ, පෞද්ගලික අපරාධ නෙමෙයි, සම්බන්ධයෙන් ඔවුනට යම් කිසි පොදු සමාවක් ලබාදී ඉදිරියට යාමට දෙන්න. මොකද ඔවුන් හැට ගණනයි ඉන්නේ. 12,600 ක් ඊට වඩා වැඩියෙන් වැරදි කළ අය එළියේ ඉන්නවා. සමහරු සාමයෙන් ජීවත් වෙනවා. නමුත් මේ අය දශකයක  කාලයක් තුළ රඳවා තබාගැනීමෙන් වැඩක් නැහැ. මේ අයත් ආරක්‍ෂක අංශවල අයත් සමගම එළියට දාන්න කියලා අපි කියනවා.

ඒ වගේම පෞද්ගලික අභිමතාර්ථ සඳහා කවුරු හරි දරුවෝ පැහැරගෙන ගිහින් තිබෙනවා නම්, මිනිසුන් ඝාතනය කර තිබෙනවා නම්, ස්ත‍්‍රී දූෂණ සිදු කරනවා නම් හෝ වෙනත් කටයුතු සිදු කර තිබෙනවා නම් ඒ අයට කඩිනමින් නඩු පවරලා ඒ ප‍්‍රශ්නයත් එතනින් විසඳන්න. මේවා එලව එලවා ගමන් කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. ඒ වගේම පස්වනුව මෙවැනි ජාතික පොදු සමාවක් දීලා මුලූ රටම එකට එකතු විය යුතු වෙලාවක්. ආණ්ඩුවේ පක්ෂ, විපක්ෂයේ පක්ෂ, දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ, විදේශීය දේශීය පිරිස්. මේ හැමදෙනාම මේ ගැටළුවට එකඟතාවයක් පළ කළාට පසුව ආයෙත් මේ ප‍්‍රශ්නය අපි කතා කළ යුතු නැහැ. ආයේ දෙමළ සංවිධාන, සිංහල සංවිධාන, මුස්ලිම් සංවිධානයන් මේ යුද්ධ කාළේ උනයි කියන සිදුවීම් ගැන කතානොකර ඒවා සම්පූර්ණයෙන්ම අමතක කර දමා අනාගතය නිර්මාණය කර ගත යුතුයි. එහෙම නැතිව මෙම පිරිස් නිදහස් කළාට පසුවත් නැවත නැවත ඒවා මතු කරනවා නම් ඒ නිදහස් කිරීමෙන්, එම කි‍්‍රයාදාමයෙන් පළක් ප‍්‍රයෝජනයක් සිදුවන්නේ නැහැ. ඒ නිසා  ජාතික සමාවක් මේ යුධ අභිමතාර්ථ සාදනයේ සිදු වූ සෑම දෙනෙකුටම, සියයකටත් අඩු මේ අයට ලබාදී ඒ අයට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට මුසු වෙන්න දෙන්න කියන එක තමයි අපි  ඉල්ලා සිටින්නේ. ඒ සඳහා ප‍්‍රමුඛ කි‍්‍රයාමාර්ගය ගන්න කියලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහ විපක්ෂ නායකතුමාගෙන් අප ඉල්ලනවා.

ඒ වගේම බි‍්‍රතාන්‍ය නිදහසින් පසුව අපට අනාගතය සඳහා ගමනක් සකස් කර ගත යුතුව තිබුණා. අපට පසුගිය ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුවත් දේශපාලන වශයෙන් එවැනි ගමනක් යන්න අවස්ථාව තිබුණා. අපිට එය ගිලිහුණා. නමුත් දැන්වත් එම අවස්ථාව කරලියට ගෙන මේ සම්බන්ධයෙන් විවෘත කි‍්‍රයාදාමයකින් එකි නෙකාගේ වැරදි දැක එකිනෙකාගෙන් සමාව ගෙන අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, අතීතයට සමාව දීලා අනාගතය ගොඩනගමු කියන යෝජනාව අපි මුළු රටටමත් ජාත්‍යන්තර ප‍්‍රජාවටත් ඉදිරිපත් කරනවා  යැයි පැවසීය.