හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟවෙයි !

හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟවෙයි !

හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟව ඇති බවත් ඒ අනුව තාක්ෂණ නගරය ඉදිකිරීම වෙනුවෙන් වන මැනීම් කටයුතු ඉදිරි සතිය ඇතුළත ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වෙයි. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකිරීමට යෝජිත හෝමාගම තාක්ෂණ නගරය වෙනුවෙන් රජය මගින් තෝරාගත් ඉඩම් රජයට පැවරීම සඳහා වන එකඟතා සාකච්ඡාවක් ඊයේ (19) පාඨලී චම්පික රණවක  අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. 

ඊට හඳුනාගත් ඉඩම් කොටස් පහේම පාර්ශවකරුවන්ට ආරාධනා කර තිබූ අතර ඉන් පාර්ශව තුනක්ද සාකච්ඡාවට එක්විය.

ඒ අනුව  ජෛව තාක්ෂණ පර්යේෂණ ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිත දඹුගොල්ලවත්ත ප‍්‍රදේශයේ අක්කර 13 ක් රජයට පැවරීමට එකඟතාවයට එළඹිණ. තවද, ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිත හොරගොල්ලවත්ත භූමියෙන් අක්කර 11 කට හිමිකම් කියන පාර්ශවයන් විසින් සිය එකඟතාවය ද ලබාදෙන ලදි. දැනට ඉදිකිරීම් සිදු කරන අලූබෝගහවත්ත භූමියෙන් අක්කර 5 ක කොටසකට ද අදාල එකඟතාවයන් සඳහා අද උදෑසන පැවැති සාකච්ඡාවේදී එළඹින. අද දිනයේ සාකච්ඡාවට පැමිණීමට නොහැකි වූ අදාල ඉඩම්වල හිමිකාරීත්වය දරණ පාර්ශවකරුවන්ට නැවත සාකච්ඡාවකට ආරාධනාවක් සිදු කරන බව ද ව්‍යාපෘති කාර්යාලය ප‍්‍රකාශ කරයි.

 එහිදී  තාක්ෂණ නගරය වෙනුවෙන් ඉඩම් රජය වෙත පැවරීමට එකඟවූ පාර්ශවයන් ප‍්‍රකාශ කර සිටියේ, රටේ ඉදිරි සංවර්ධනයට ඍජුව දායක කර ගත හැකි පළදායී තාක්ෂණ නගරයක් බිහි කිරීමට තමන්ගේ පූර්ණ දායකත්වය ලබාදෙන බවයි. දැනට ඉතා සුළු පිරිසක් විසින් වෙනත් අරමුණු මුල් කර ගනිමින් සිදු කරනු ලබන අසත්‍ය ප‍්‍රචාර වෙනුවට විධිමත් දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක් ගම තුළ සිදු කරන ලෙස ද ඔවුන් විසින් ඉල්ලා සිටියේ ය.

ඉදිරි දින හත ඇතුළත අදාල භූමි ප‍්‍රදේශයන් හි විධිමත් මැනීම් කටයුතු සිදු කිරීමට ව්‍යාපෘති කණ්ඩායම සහ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.

ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අක්කර 450 න් මේ වන විටත් අක්කර 200 ක් රජය වෙත පවරාගෙන ඇති අතර ඉදිරි පවරාගැනීම්වලදී ද කිසිඳු ආකාරයක අක‍්‍රමිකතාවයක් හෝ අපහසුතාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු නොකිරීමට ව්‍යාපෘති කණ්ඩායම කටයුතු කරන බවට ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා පෙන්වා දෙයි.

දැනට පවරාගෙන ඇති ඉඩම්වල වන්දි මුදල් ලබාදීමට විධිමත්ව සිදුවෙමින් පවතින අතර එය ඉදිරි දින 30 ඇතුළදී සම්පූර්ණයෙන්ම සිදුකර අවසන් කරන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න