මෛත්‍රී - ගෝඨා ඝාතන තැත : නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි !

මෛත්‍රී - ගෝඨා ඝාතන තැත : නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නිසා ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ (19) පොලිස්පතිට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව එම තීරණය දැනුම් දී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය ජාතික පොලිස් කොමිෂන් සභාවට  ඉදිරිපත් කළ නිර්දේශයක් සැලකිල්ලට ගනිමිනි.

නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති නිසා ඔහු අනිවර්ය නිවාඩු යවන ලෙස ඉල්ලමින් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඊයේ (19) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත  ලිඛිතව දැනුම් දුන් බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පවසයි.

එම නිර්දේශය අනුමත කරමින් නාලක සිල්වා ව අනිවාර්ය නිවාඩු යවන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක ඊයේ  (19) සවස පොලිස්පති  වෙත  ලිපියක් යොමු කළ බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

මේ අතර නාලක ද සිල්වා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඊයේ  (19) පොලිස්පතිවරයා ඉල්ලීමක් කළේය. ඔහු තවදුරටත් සේවයේ සිටියහොත් විමර්ශනවලට සහ සාක්කිකරුවන්ට බලපෑමක් එල්ල විය හැකි බැවින් පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම කළ බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.

ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා එම  ධුරයෙන් ඉවත් කරන ලෙස මීට පෙර රහස් පොලිසිය ඉල්ලා තිබුණු අතර ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව භාරව පත් කරනු ලැබීය.

මෙම විමර්ශනය ගැන මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඉදිරියේ දී තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් හෙට (20) පැවැත්වෙන ජාතික පොලිස් කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බැවින් වහාම විමර්ශනවල තත්ත්වය දැක්වෙන වාර්තාවක් ලබා දෙන ලෙස ද පොලිස් කොමිසම අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ත්‍රස්තවාදී විමර්ශන දිශාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කොමිසමට ලැබුණු බවත්, ඉන් පැමිණිලි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විභාග කරන ලෙස දන්වමින් පොලිස්පතිට යොමු කළ බවත්, තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු යටතේ විමර්ශනයක් සිදුවන බවත් ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

නාලක සිල්වාගේ උපාධි සහතිකය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි කී එම නිලධාරියා එම විමර්ශනය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න