රටකට ඕන මානුෂීය ධනවාදී ක්‍රමයක් - සජිත්  

රටකට ඕන මානුෂීය ධනවාදී ක්‍රමයක් - සජිත්  

ලෝකයේ බොහෝ රටවල් අද සමාජවාදය ප්‍රතික්ෂේප කර ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය වැළදගෙන ඇති බවත්, මෙරට තුළ ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මිනිස් සම්පතට ශක්තිය ලබාදෙන ‘මානුෂීය ධනවාදී ක්‍රමය’ අප ක්‍රියාත්මක කළ යුතු බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඉඩම් නොමැති අසරණ ජනතාවට ඉඩම් ලබාදී එහි නිවාස ඉදිකර උදා ගම්මාන ඉදිකිරීම මානුෂීය ධනවාදයේ පියවරක් බව කී අමාත්‍යවරයා, මානුෂීය ධනවාදය තුළ සමාජයේ අසරණවන, කොන්වන ජනතාවට නැගී සිටීමට ශක්තිය ලබා දෙන බවද සඳහන් කළේය.

යහපාලන රජය මානුෂීය ධනවාදය අවබෝධ කර ගනිමින් සමාජ ආරක්ෂණයට මුල්තැන ලබාදෙන බවත්, අන්තවාදී වාමාංශික ආර්ථික න්‍යාය තුළ රටක් ගොඩ නැගීමට නොහැකි බව අද වාමවාදී දේශපාලන පක්ෂ පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.  

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, වැදිවැව ඉදිවූ “සකුණගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ  (20) දින සහභාගී වෙමිණි. 

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 126 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 15 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 115 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සකුණගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 15 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 150 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 15 ක හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 100 දෙනෙකුට ඇස් කණ්නාඩි, ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ බෙදා දීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සහයනක් සහ දේශීය වෛද්‍ය සායනයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ද එක්ව සිටියේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න