තාජුදීන් ඝාතන නඩුව: "පරීක්ෂණ පමා වීම විත්ති පාර්ශ්වයට දැඩි අගතියක්- විනිසුරු 

තාජුදීන් ඝාතන නඩුව: "පරීක්ෂණ පමා වීම විත්ති පාර්ශ්වයට දැඩි අගතියක්- විනිසුරු 

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

එම පැමිණිල්ල බ්‍රහස්පතින්දා (සැප්. 20) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක, මෙය සංකීර්ණ පරීක්ෂණ කටයුත්තක් බැවින් එය අවසන් කිරීමට තවදුරටත් කල් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සඳහන් කළේ මෙම පරීක්ෂණවල ප්‍රමාදයක් පවතින බව තමන්ට පෙනී යන බවය.
තවදුරත් කාලය ඉල්ලයිමෙම පරීක්ෂණය ආරම්භ වී තිබෙන්නේ 2012 වසරේ සිට බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, මේ ආකාරයෙන් පරීක්ෂණ පමා වීම තුළින් විත්ති පාර්ශ්වයට දැඩි අගතියක් සිදුවන බව පැවසීය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ, මීළඟ නඩු දිනයේදී අදාල සැකකරුවන්ට එරෙහි සාක්ෂි මොනවාද යන්න පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවය.

එමෙන්ම, සැකකරුවන්ට එරෙහි ව ඉදිරිපත් කිරීමට යන චෝදනා මොනවාද යන්න පිලිබඳ මීළඟ නඩු දිනයේ කරුණු දක්වන මෙන් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල නැවත නොවැම්බර් මස 29 වෙනි දින කැඳවන මෙන් නියම කළේය.

පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක, මියගිය වසීම් තාජුදින් පැහැර ගෙන යාම සඳහා, 'සිරිලිය සවිය' ව්‍යාපෘතිය සඳහා යොදවා තිබූ ඩිෆෙන්ඩර් රථයක් භාවිත කිරීම පිළිබඳ විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව අධිකරණයට දන්වා සිටියේය. 

මෙය විශ්වාසදායක තොරතුරක් බවට පෙනී යන හෙයින්, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය. 

තොරතුරු නැහැඑමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා නිලධාරීයෙකු පිළිබඳ තොරතුරු තමන් සතුව නැතැයි නාවික හමුදාපතිවරයා දන්වා ඇතැයි සඳහන් කළ නීතිපතිවරයා, එම නිලධාරියා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද දන්වා සිටියේය.

එමෙන්ම වසීම් තාජුදින් ඝාතනය සිදුවූ දින අලුයම අරලියගහ මන්දිරයෙන් සහ ජනාධිපති මන්දිරයෙන් පිට වී ගිය වාහන පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉන් වාහන තුනක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් පරීක්ෂණ සිදුකරන බවත් සඳහන් කළේය.
අනතුරුව පරීක්ෂණ කටයුතු වහාම අවසන් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර යන අය අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට ද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න