ලයිසන් නැතිව රිය පැදවූ අරණායක පොහොට්ටු මන්ත්‍රී කතුන් දෙදෙනෙකු අනතුරට පත්කරයි

ලයිසන් නැතිව රිය පැදවූ අරණායක පොහොට්ටු මන්ත්‍රී කතුන් දෙදෙනෙකු අනතුරට පත්කරයි

රියදුරු බලපත්‍රයක් හෝ ආදායම් බලපත්‍රයක් නොමැතිව කැබ් රථයක් ධාවනයකර  කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනාව සම්බන්ධව, පසුගිය 18 වැනිදා අධිකරණය හමුවේ වරදකරුවෙකු වූ අරණායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩබ්ලිව්. ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

මාවනැල්ල අරණායක මාර්ගයේ ගැවිලිපිටිය ඇහැලගස්තැන්න ප්‍රදේශයේ දී පසුගිය ජූලි මස 9 වැනිදා අරණායක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩබ්ලිව් ජයරත්න මහතා විසින් පදවාගෙන ගිය  කැබ් රථයේ ගැටී යතුරුපැදියක ගමන් කරමින් සිටි හෙම්මාතගම, ගිනිහප්පිටිය පොල්හේන්වත්ත පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ විමලාවතී එදිරිසූරිය(50) සහ සංගිලි දූරයාලාගේ ප්‍රියංකා එදිරිසූරිය(34) යන කාන්තාවන් දෙදෙනා අනතුරට ලක්ව කෑගල්ල  සහ මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කොට ඇත.

මෙම රිය අනතුර සිදුකිරීම සම්බන්ධව කැබ් රථය පැදවූ අරණායක, නාරංගම්මන පදිංචි  අරණායක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වෙදාලාගේ  ජයරත්න(53) නැමති අය අරණායක පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර සැප්තැම්බර් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළේය.

නියෝග ප්‍රකාරව අධිකරණය හමුවේ පෙනී සිටි ජයරත්න මහතාට  විරුද්ධව  අරණායක පොලීසියේ රථවාහන අංශය විසින් රියදුරු බලපත්‍රයක්, ආදායම් බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරී ධාවනය, අනතුර වලක්වා නොගැනීම, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා ගොනුකර තිබුණි.

අදාල චෝදනා යටතේ වරදකරු වූ ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කර තිබේ.

(ලංකා ට්රුත් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න