සබරගමුව පළාත් සභාවේ මහජන නියෝජිතයින් නැති පාලනයට අවුරුද්දක් ගතවන බවත් පරාජයට බියෙන් ඡන්ද කල් දැමීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව සඳහන් කරමින් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
2017 සැප්තෑම්බර් 26 දින සබරගමුව පළාත් සභාවේ කාලය අවසන් වූ අතර, අද ට මහජන නියෝජිතයින් නොමැතිව වසරක කාලයක් පළාත් සභාව පාලනය වී ඇති බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් මගින් තේරී පත් වන මහජන නියෝජිතයින් ගෙන් තොර පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය පිළිබද කිසිදු බලාපොරොත්තුවක් නැති පරිසරයක් මේ වන විට ගොඩ නැගෙමින් ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
මීට වසරකට පෙර පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීමේ අරමුණ සහිතව කාන්තා නියෝජනය ඉදිරියට දමමින් පළාත් සභා ඡන්ද ක්‍රමය සංශෝධනය කරනු ලැබූ බවත් එහි මුලික අරමුණ වූයේ ඡන්දය කල් දමා ගැනීම මිස, පළාත් සභා ඡන්ද ක්‍රමයේ සංශෝධන සිදු කිරීම නොවන බව මේ වන විට ඉතා පැහැදිලිවී ඇති බවද එහි සඳහන්.
කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
අද වන විට ලංකාවේ පළාත් සභා 9 න් 3 ක මහජන නියෝජිතයින් විසින් සිදු කරන පාලනයක් නොමැතිය. අවසනාවන්තම තත්වය වන්නේ බලය බෙදා හැරීමේ අරමුණ ඇතිව බිහි වූ පළාත් සභා ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස අකුළා දැමීම පිළිබද සුළු ජාතික බහුතරයක් ජීවත්වන නැගෙනහිර පළාතේ දේශපාලනඥයින්ගේන් ද විරෝධයක් පළ නොවීම ය. උතුරු මැද පළාත් සභාව ද, වසරකට ආසන්න කාලයක් මේ වන විට අක්‍රීය පවතී.
සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුල පරාජයට පත් කිරීමෙන් පසුව මාස දෙකක් තුල සීමා නිර්ණය පිළිබද ගැටළුව විසදීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුව ක්‍රියා කළ යුතුය. නමුත්, පාර්ලිමේන්තුව හරහා සූක්ෂම ලෙස තවදුරටත් මේ සීමා නිර්ණය ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට රජය කටයුතු කරමින් සිටී.
ලබන ඔක්තෝබර් 28 දින වන විට මෙරට පළාත් සභා 9 න් 6 ක ධූර කාලය අවසන් වී මහජන නියෝජිතයින් නොමැති පළාත් සභා 6 ක් ඉතිරිවන්නේය.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මුලික නිර්ණායකය වන්නේ නිසි පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමයි. මැතිවරණය පරාජයට බියෙන් ඡන්ද විමසීම් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යවහාරයක් නොවන අතර, හැකි ඉක්මනින් උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන යොදන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය රජයට බල කර සිටී.

