ළමයින් ගැන අවධානය වැඩි කරමු : ළමා දිනයේදී  ජනපති කියයි !

ළමයින් ගැන අවධානය වැඩි කරමු : ළමා දිනයේදී  ජනපති කියයි !

ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලූ පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව අවධාරණය කළේ අද (01) පෙරවරුවේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවට  එක් වෙමිනි.

“ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුනේ ද ජනාධිපතිවරයා අතිනි.
එමෙන්ම ද්විතියක කණිෂ්ඨ විද්‍යාගාර ගොඩනැඟිල්ල ද ජනාධිපතිවරයා විසින් සිසු අයිතියට පවරාදෙනු ලැබීය.

අනතුරුව පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ දී විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දරුවා හෙට රටේ වගකීම් භාරගන්නා පුරවැසියන් බවට පත්වන බැවින් නැණවත් මෙන්ම ගුණවත් දරුවෙකු නිර්මාණය කිරීමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බවයි.

දරුවන් පිළිබඳ කටයුතු කිරීමට රජයේ වගකිවයුතු ආයතන රැසක් ස්ථාපිත කර තිබෙන අතර ව්‍යාපෘති ගණනාවක් ද දියත් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සියලූ කටයුතුවල ප‍්‍රතිලාභ ලැබිය යුත්තේ දරුවන්ටම බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන් දරු පිරිසක් බිහිකිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ දී විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අදාළ සියලූ පාර්ශ්වයන් සිදුකරන කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක්විය. 

පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් වත්මන් රජය ලබාදී තිබෙන බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රටේ දරුවන් වෙනුවෙන් කරන ආයෝජන රට සහ ජාතිය වෙනුවෙන් කරන ආයෝජනයක් බව ද කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, බලපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දයාරත්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, විදුහල්පති ඞී. සිරිනන්ද මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න