Language Switcher

V2025

රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ‍්‍රවණාගාරය රුහුණේ විවෘත වෙයි !

2018 ඔක්තෝබර් මස 9 වන දින පැවති  විශේෂ උත්සවයකදී රුපියල් මිලියන 300ක ඉන්දීය ප‍්‍රදානයක් යටතේ ඉදිකරන ලද රුහුණ විශ්ව විද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ‍්‍රවණාගාරය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. 

රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

2018 ඔක්තෝබර් මස 2 වන දින ඇරඹි, ඉන්දියානු ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ පණිවිඩය සහ ඉගැන්වීම් ඇතුළත් කෙටි වීඩියෝවක්ද මෙම අවස්ථාවේදී ප‍්‍රදර්ශනය කෙරිණ.

1500කට අසුන් ගත හැකි මෙම අති නවීන ශ‍්‍රවණාගාරය ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් සතු විශාලතම ශ‍්‍රවණාගාරය වේ. ප‍්‍රවීණ ශ‍්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගේ  “නිවර්තන නූතනවාදය” යන සංකල්පයට අනුගත වන පරිදි මෙම ශ‍්‍රවණාගාරය නිර්මාණය කර තිබේ. මින් වසර 40කට පෙර ඉදිකරන ලද රුහුණ විශ්ව විද්‍යාලයීය ගොඩනැගිලිද ජෙෆ්රි බාවා මහතාගේ මග පෙන්වීම යටතේ නිර්මාණය කර ඇත.

රබින්ද්‍රනාත් තාගෝර් ශූරීන් නමින් නම් කරන ලද මෙම ශ‍්‍රවණාගාරය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික බැඳීමේ සංකේතයක් වනු  ඇති අතර ශ්‍රේෂ්ඨ ඉන්දියානු කවියෙකු සහ නොබෙල් සම්මානලාභියෙකු වන තාගෝර්තුමා විසින් සමස්ත දකුණු ආසියාතික කලාපයට සහ ලෝකයට දායාද කරන ලද සෞන්දර්යාත්මක සහ බුද්ධිමය උරුමයේ සදානුස්මරණීය පුරාවෘත්තය තවදුරටත් ආරක්ෂා කරනු ඇත. එසේම, මෙම ශ‍්‍රවණාගාරය දකුණු පළාතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ජනතාවගේ සංස්කෘතික සහ අධ්‍යයන අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනු ඇත.

මෙම ශ‍්‍රවණාගාරය ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවය පිළිඹිබු කරන තවත් නිදසුනකි. ඉන්දියාව මේ දක්වා ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ප‍්‍රමාණයක් ලබා දී ඇත. එයින් ඇමරිකානු ඩොලර් මිලියන 550ක් නැවත නොගෙවිය යුතු ප‍්‍රදානයන් වන අතර ඉතිරිය සහනදායි ණය ආධාර වේ. ඉන්දියාව විසින් ලබා දෙන සංවර්ධන සහයෝගීතාවය ශ‍්‍රී ලංකාවේ එක් පළාතකට හෝ අංශයකට සීමා නොවේ. ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා මත පදනම්ව සිය සංවර්ධන ව්‍යාපෘතීන් දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව ශ‍්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.

නිවාස 60,000ක් ඉදිකිරීම අරමුණු කරගත් ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය (මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආධාර යටතේ විදේශ රටක ක‍්‍රියාත්මක විශාලතම ව්‍යාපෘතියයි) සහ 1990 හදිසි ගිලන් රථ සේවයට අමතරව ඉන්දියාව මේ දක්වා දිවයින පුරා 70කට ආසන්න කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් ක‍්‍රියාවට නංවා ඇත. මෙම ව්‍යාපෘතීන් දිවයිනේ සෑම පළාතකම සෞඛ්‍යය, අධ්‍යාපනය, හැකියා වර්ධනය, ජීවනෝපාය මාර්ග සහය, කාන්තා සවිබලගැන්වීම, කුසලතා සංවර්ධනය, කාර්මික සහ වෘත්තීය පුහුණුව සහ යටිතල පහසුකම් සංවර්ධනය ආදී විවිධ ක්ෂේත‍්‍ර රැසක ක‍්‍රියාත්මක කර ඇත.

මේ වන විට ඉන්දීය රජයේ ආධාර යටතේ වැසි ජලය රැස් කිරීමේ ඒකක ඉදි කිරීම, වැසිකිළි ඉදි කිරීම, පොළොන්නරුවේ ත්‍රෛ භාෂා පාසල ඇතුළු පාසල් ඉදිකිරීම සහ නවීකරණය කිරීම සහ විශ්ව විද්‍යාල සඳහා ගොඩනැගිලි ඉදිකිරීම වැනි ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් 20කට අධික ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වෙමින් පවතී.