Language Switcher

V2025

වයඹ පළාත් සභාව අවසන් වෙද්දී : අළු යට ගිනි පුපුරයි 

හය වන වයඹ පළාත් සභාවේ දූරකාලය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව ප්‍රකාශයට පත්වී ඇති අතර 10 ( අද ) දින වයඹ පළාත් සභාවෙන් මන්ත්‍රීධූරවලින් සමු අරන් පිටව යන මන්ත්‍රීවරුන්ගෙන් දැනගන්නට ලැබුනේ සංදර්ශනාත්මක කතා මාලාවකි.

උදෙන්ම වයඹ පළාත් සභා විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා තමාගේ පෞද්ගලික කාර් රථයෙන් සභාව වෙත පැමිණි බව ආරංචි මාර්ග පවසයි. එසේ පැමිණි විපක්ෂ නායක වරයා කෝ අපේ ටුක් ටුක් එක ලැහැස්තිදැයි තමන්ගේ හිතවත් පිරිසකගෙන් විමසා ඇත. එහිදී දැනගන්නට ලැබී තිබුනේ අවසන් වරට කාර්යාලයට පැමිණ ලියකියවිලි රැගෙන ශමල් සෙනරත් මහතා ත්‍රි රෝද රථයකට නැගී තමන්ගේ හිතමිතුරන් සමග පිටත්ව යෑමට සැරසුණු බවයි. 

මෙදිනම වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා තමන්ගේ අන්තිම දවසේ කලමනාකර සහකාර පත්වීම් ප්‍රධානයක් සංවිධානය කර තිබු බව ආරංචි මාර්ග පවසයි. එසේ පත්වීම් ප්‍රධානය කරද්දී වයඹ පළාත් සභාවේ පොහොට්ටුව නියෝජනය කරණ මන්ත්‍රීවරුන් අලුත්ම සංදර්ශනයක් දැමීමට පැමිණි බව දැනගන්නට තිබේ. එහිදී වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත්, චින්තක මායාදුන්නේ සහ රණවිරු හේරත් යන මන්ත්‍රීවරුන් තමන්ගේ හිත මිතුරන් සමග වයඹ පළාත් කොඩියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩියද රැගෙන පළාත් සභා භූමියට ඇතුළු වුනු බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. එහිදී මුලින්ම මෙම පොහොට්ටු කණ්ඩායම වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා හමුවීමට පත්වීම් ප්‍රධානය කරන ස්ථානයට යාමට යද්දී ඇමතිතුමා නෑ ඇමතිතුමා නෑ යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ආයතනයක් නියෝජනය කරන පුද්ගලයෙක් පවසා ඇතිබව දැනගන්නට තිබේ. එහිදී මන්ත්‍රී කණ්ඩායම තමන්ගේ කොඩි රැගත් පිරිසද රැගෙන වයඹ පළාත් ප්‍රධාන ලේකම් සිරිසේන මහතාගේ කාමරයට ගොඩවැදී ලබන වාරයට පොහොට්ටුවෙන් ජය අරගෙන සභාව පිහිටුවීමට එන බවට ප්‍රතිඥා දුන් බව දැනගන්නට තිබේ.

කොඩි රැගත් මන්ත්‍රී පියුමාල් හේරත්, චින්තක මායාදුන්නේ සහ රණවිරු හේරත් යන කණ්ඩායම නැවත ප්‍රධාන අමාත්‍යවරයා සොයාගෙන එතුමාගේ කාර්යාලය වෙත ගොස් ඇතිබව දැනගන්නට ලැබී තිබේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ කාමරයට අතුලුවෙද්දීම පියුමාල් මන්ත්‍රීතුමා මොකද මොකද මේ, අන්තිම දවසේ මොකක්ද මේ කරන්නේ, මම දැන් අර පත්වීම් දිදී ඉන්නකොට අපේ රුපවාහිනියේ සරත් යටවර ඇවිත් කිව්වා අන්න මහ ඇමතිතුමා පියුමාල් මන්ත්‍රීතුමා පත්වීම් දෙන තැනට කඩා පනින්න හදනවා ඉක්මනට කාර්යාලයට යන්න ඕක ඉවර කරලා කියලා. මොකක්ද මේ වෙන්නේ යැයි ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පුටුවෙන්ද නැගිට අසා ඇතිබව ආරංචි මාර්ග පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයාට අනේ නෑ මහ ඇමතිතුමා එහෙම දේකට නෙමෙයි අපි ආවේ. ඔබතුමාව බලලා යන්න. කව්ද ඔය බොරු කියන්නේ ඔබතුමාට යනුවෙන් පියුමාල් හේරත් මන්ත්‍රීවරයා පවසා ඇතැයි දැනගන්නට තිබේ. ඒකනේ ඒකනේ මේ යක්කු අදත් මාව කඩේ යවන්නනේ හදන්නේ කෝ මේ යටවර යනුවෙන් පවසා ඉතින් ඉතින් මන්ත්‍රීතුමා ඊළඟ පාරත් එනවනේ, අන්න තාත්තත් එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක්ව තොරනවලු යූ. එන්. පී එකෙන් ආරංචි නැද්ද යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා පියුමාල් හේරත් මන්ත්‍රීවරයාට පවසා ඇතිබව දැනගන්නට තිබේ. මහ ඇමතිතුමා අපි ආයෙත් එනකම් සභාව හොඳට බලාගන්න කියලා අපි මහ ලේකම්තුමාට කියන්න ගියා, ඒ එනගමන් ඔබතුමාවත් බලන්න ආවා එච්චරයි යනුවෙන් චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා පවසා ඇතිබව ආරංචි මාර්ග පවසයි. හරි හරි රණවිරු මන්ත්‍රීතුමා  මේ සැරේනම් ෆයිට් එකක් දෙන්න වෙයි නේද. පියුමාල් මන්ත්‍රීතුමාටනම් ගැටළුවක් නෑනේ. ගෙදර කව්රු ආවත් දිනුම්නේ යනුවෙන් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වැඩිදුරටත් පැවසු බව දැනගන්නට තිබේ. 

ප්‍රධාන අමාත්‍යවරයාට සුභ පැතු පොහොට්ටු කණ්ඩායම ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරියට පැමිණ හය ඉවරයි හැබැයි හත පිහිටුවන්නේ පොහොට්ටුවෙන් යනුවෙන් පවසා පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් වයඹ පළාත් සභාවේ අළු යට ගිනි මෙසේ නිම වෙද්දී ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ සිහින කෙතරම් කාලයකින් සැබෑ වෙයිදෝ සිතාගත නොහැකි බව උකුස්සාට වයඹ මීඩියා කණ්ඩායම වැඩිදුරටත් පැවසු බව ආරංචි මාර්ග පවසයි 

උපුටා ගැනීම - වයඹ මීඩියා