එජාප මන්ත්‍රී සහය නැතුව භාරකාර ආණ්ඩු කතා කොට උඩ !

එජාප මන්ත්‍රී සහය නැතුව භාරකාර ආණ්ඩු කතා කොට උඩ !

ඒකාබද්ධය හා ශ්‍රීලනිප කණ්ඩායමක් එක්ව භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීමේ ක්‍රියාමාර්ගය මේවනවිට අඩපන වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.ඒ එවැනි භාරකාර ආණ්ඩුවකට සහය දෙන බවට එකඟව සිටියා යයි කියන  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේවනවිට සිය මතය වෙනස්කර ගෙන තිබීම හේතුවෙනි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හැර නව අගමැතිවරයකුගේ නායකත්වයෙන් භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු තමන්ට සහතික වී ඇතැයි ශ්‍රීලනිප 15 කණ්ඩායමේ මන්ත්‍රීවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දිගින් දිගටම අවධාරණය කිරීමෙන් පසු භාරකාර ආණ්ඩු කතාව මාධ්‍ය ඔස්සේ දේශපාලන කරලියට පිවිසියේය.

එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ජා පැවති බවට ද වාර්තා පලවී තිබිණ.

මේ ආණ්ඩු වෙනස්කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නම් මෛත්‍රී-මහින්ද සන්ධානයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඒකාබද්ධයේ ප්‍රධානියකු ද 'නිව්ස් ටියුබ්'  වෙත පැවසිය.

පාර්ලිමේන්තු බලය තවමත් එජාපයට:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 107 දෙනෙකුම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පෙරමුණය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරු ප්‍රමාණය 16කි. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දැනට ආණ්ඩුවේ අමාත්‍ය පදවි උසුලන සහ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් ගණන 26කි. ඒ සියළු පාර්ශව එකතුකළත් මෛත්‍රී-මහින්ද සන්ධානයක් සඳහා මන්ත්‍රීවරුන් සිටින්නේ 96ක් පමණි.

ඒ අනුව ආණ්ඩු වෙනසක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 ලබාගැනීම පිණිස ඔවුන්ට තවත් මන්ත්‍රීවරුන් 17ක පමණ සහාය අවශ්‍යවේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු තේරී පත්ව සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16ක් සිටිති.

විශ්වාස භංගය ඇන ගත් හැටි !

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ පැවති විශ්වාස භංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට සහාය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. 

මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම පිණිස එම පක්ෂ දෙකම සහාය පළකිරීම අවිනිශ්චිතය.

 එසේම, ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් දේශපාලන පක්ෂවල සහය මේවනවිට හිමිව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතය.
මෙවැනි තත්වයක් යටතේ භාරකාර ආණ්ඩු යෝජනාව යථාර්තයක් කරගැනීම සඳහා එජාප මන්ත්‍රී පිරිසකගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය ම වේ.

sajith 670px සජිත් ජනාධිපති ගැන විශ්වාසයෙන් ....

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි පැවසීය. 

මේ අතර දේශපාලන විචාරකයකු සහ කැෆේ මැතිවරණ නිරීක්ෂක සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ භාරකාර ආණ්ඩු සංකල්පය මේ මොහාතේ ශ්‍රී ලංකාවට අදාළ නොවන බවය.
"ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ හෝ නැති හින්දා පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වෙන පරිසරයක් වත් නැති හින්ද මේ භාරකාර ආණ්ඩුව කියන සංකල්පයම ලංකාවට අදාළ වෙන්නේ නැහැ. අනිත් අතට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකාර ආණ්ඩු ගැන සඳහනක් නැහැ අනිත් රටවල වගේ," ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න