CID ය ජනාධිපතිගෙනුත් ප්‍රශ්න කිරීමේ සූදානමක !

CID ය ජනාධිපතිගෙනුත් ප්‍රශ්න කිරීමේ සූදානමක !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව ඉදිරියේදී ජනාධිපතිවරයා  වෙතින්ද  ප්‍රශ්න කර  ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව දැනගන්නට ඇත.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, නාලක ද සිල්වා තමන් සමඟ සාකච්ඡා කළ බව දුෂණ විරෝධී සංවිධානයේ අධ්‍යක්ෂ බව පැවසූ  නාමල් කුමාරගේ මාධ්‍ය හමුව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට අදාළවය.

ගෝඨාභයගෙන් පැය දෙකක් ප්‍රශ්න කරලා !

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 12 වනදා පුරා පැය දෙකක් තිස්සේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත. 

එදින  පෙරවරු 10.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ මහතා 12.30 පමණ වන තුරු එම ඝාතන  කුමන්ත්‍රණ සිද්ධිය ගැන ප්‍රකාශයක්‌ ලබාදී ඇත. 

 මෙම කුමන්ත්‍රණයේදී තම ජීවිතයට තර්ජනයක්‌ එල්ලවී ඇති බව කියමින් ඒ පිළිබඳව විමර්ශනයක්‌ පවත්වන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක්‌ කර තිබිණි. 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළ තොරතුරු දැනගැනීම සඳහාය.  

හඬපට සමානයි : රසපරීක්ෂණ වාර්තාව තහවුරු කරයි !

මේ අතර අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ දුරකථන සංවාද හඬපට රජයේ රසපරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී දෙදෙනාගේම හඬ සමාන බවට ප්‍රතිඵල ලැබී තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මෛත්‍රී ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ  ඝාතනය කල යුතු බවට හෝ ඒ සම්බන්ධව මාකඳුරේ මදුෂ් නම් පාතාල නායකයාගේ කල්ලිය යොදාගත යුතු බවට  පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු  නියෝජ්‍ය පොලිස්පති, නාලක ද සිල්වා පැවසු බවට නාමල් කුමාර මාධ්‍ය හමුවේදී පැවසුවත් ඔහු විසින් ලබාදී ඇති හඬපට කිසිවක එවැන්නක් ගැන සඳහනක්වත් තිබී නැත. 

මැකුණු හඬපට හදන්න විදෙස් සහය !

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ ඒ හඬපට මැකී ඇති බවය. ඒ අනුව වාර්තා වන්නේ  හඬ පටයේ මැකී ඇති කොටස් ප්‍රතිනිර්මාණය (retrieve) කර ගැනීම සඳහා  විදෙස් සමාගමක සහය ගැනීමට යන බවය.  ඒ ඊට අවශ්‍ය තාක්ෂණය මෙරට නොමැති  නිසාය.

නාමල්ගේ ප්‍රකාශය සැක සහිතයි !

මේ අතර ආරක්ෂක අංශ වාර්තා සඳහන් කරන්නේ දුෂණ විරෝධී සංවිධානයේ අධ්‍යක්ෂ බව කියමින් හදිසියේ මාධ්‍ය හමුවට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නාමල් කුමාරගේ ප්‍රකාශය තුළ බරපතල සැක සංකා පවතින බවය. වැඩිදුරටත් වාර්තා වන කරුණු අනුව මෙම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ගැන අනාවරණය කිරීමට පෙර මෙවැනි සංවිධානයක් ගැන කිසිවෙකුත් අසා තිබී නැති අතර එමඟින් මීට පෙර අනාවරණය කළ දුෂණයක් ද නැත.

මහනුවර පැවැත්වූ මාධ්‍ය හමුවේදී නාමල් කුමාර පැවසුවේ ජාත්‍යන්තරයෙන් ලැබුණ රහසිගත තොරතුරක් ගැන තමන් පොලිස්පතිවරයාට ඔත්තුවක් ලබාදුන් බවත් එහිදී පොලිස්පති විසින් තමන්ට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මුණගැස්සවූ බවයි. එහෙත් ඒ ඔත්තුව කුමක්ද යන්න ගැන කිසිවක් ඔහු අනාවරණය කර සිටියේ නැත. 

තවද දැනට නාමල් කුමාර ලබාදී ඇති හඬපට වල තිබෙන්නේ නිලන්ත ජයවර්ධන, එම්. ආර්.ලතීෆ් අහ නන්දන මුණසිංහ යන පොලිස් ප්‍රධානීන් තනතුරු වලින් ඉවත්කළ යුතු බවට නාලක කරන යෝජනාවක් සහ 2020 දී රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කිරීමට මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂට වඩා ඔහුව පෙරට ගතයුතු බවට කරන කතාවක් පමණය. 

ඒ හැර වෙනත් ඝාතන සුදානමක් ගැන ඇත්තේ දැනට නාමල් කුමාර කියන කතා පමණය.

නාමල්ගේ රස්සාව  කසිප්පු ගංජා ගැන පොලිසියට ඔත්තු දීම !

එසේම නාමල් කුමාර නැමැත්තාගේ ඉතිහාසය පරීක්ෂා අරණ විට දැනට අනාවරණය වී ඇත්තේ ඔහු කාලයක් තිස්සේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙන බවය. එහිදී කසිප්පු ජාවාරම්, ගංජා හේන් සහ විකුණන ස්ථාන ගැන ඔත්තු සපයමින් ඒ සඳහා පොලිසියෙන් මුදලක් ලබාගෙන ජීවත්ව තිබේ.

2017 වසර වන විට නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා විසින් නාමල් කුමාර සමඟ පැවති සම්බන්ධතා අත්හැර ඇති අතර නමුත් නුවර සිදුවූ ජාතිවාදී කෝලාහලය අවස්ථාවේ නැවත ඒ ගැන ඔත්තු ලබාදෙමින් ඔහු නාලක සිල්වාට සමීපවී ඇත.

මහසෝනා අල්ලන ඔත්තුවත් නාමල්ගේ !

එහිදී බොදුබල සේනා සංවිධානය, සිහල රාවය වැනි සංවිධාන සහ ඒකාබද්ධ විපක්ෂය ගැන විවිධ  ඔත්තු සැපයීමට නාමල් කුමාර කටයුතු කර ඇති බවත් නුවර කෝලාහලයට අදාළව මහසොහොන් බලකායේ ප්‍රධානියා වූ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමේ ඔත්තුවද ලබාදී ඇත්තේ නාමල් කුමාර බවත් දැනගන්නට ඇත.

නමුත් යළිත් නාමල් කුමාරව ඈත් කිරීමට නාලක සිල්වා කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධව නාමල් කුමාර ඔහු සමඟ ආරෝවකින් සිටි බවද දැනගන්නට තිබේ. 

කෙසේ නමුත් ප්‍රභූන් පමණක් නොව කිසියම් ආකාරයට පුරවැසියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවුවා නම් ඊට වගකිව යුතු පාර්ශව නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවීම අත්‍යාවශ්‍ය ය. එහෙත් දැනට එවැන්නක් ගැන සිතීමටවත් වැදගැම්මකට ඇති කිසිඳු සාක්ෂියක් නාමල් කුමාර වෙතින් අනාවරණයවී නැත.

මාධ්‍ය හමුවට පෙර නාමල් කතා කළේ කාටද?

මෙහිදී අවධානය යොමුකළ යුතු වැදගත් කරුණක් වන්නේ මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට පෙර නාමල් කුමාර ලබාගත් දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීමය. එහිදී ඔහු මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකිරීමට පෙර ගනුදෙනු කළේ කා සමඟද යන්නත් ඒ හරහා මේ නාඩගමේ නොපෙනෙන කළාපයේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවනු ඇත. එසේම ඔහු සමඟ මාධ්‍ය හමුවට සහභාගීවූ අය කවුද සහ ඔවුන්ගේ ඇති සබඳතාද පරීක්ෂා කිරීම වැදගත් වනු ඇත.

ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ගත්ත කතාව මොකක්ද?

තවද මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා පිහිටුවා ඇති  ජනාධිපති කාර්ය සාධක බලකායේ නමත් ඔහු එහි වැටුප් ලබන සේවකයකු  බවත් සඳහන් කරමින් නාමල් කුමාර බැංකුවක් හරහා  ගනුදෙනු කිරීමට ගත් උත්සාහයක් ගැනද දැනට අනාවරණය වී තිබේ.  ඊට අදාළව ජනාධිපති කාර්යාල පාර්ශවය නිල වශයෙන්  නිවේදනය කර ඇත්තේ නාමල් කුමාර එවැනි කටයුත්තක යොදවා නොසිටි බවය. 

දැනට දක්නට සිටින නාමල් කුමාර අන්න එවැනි නාඩගම්කාරයකු පමණක් වන අතර ඉහත තොරතුරු අනාවරණය කර ගනුනොත් මේ නාමල් නාඩගම පිටුපස සිටින විගඩම් හඳුනා ගන්න ලැබෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න