දේදුනු කොඩියක් ගෙනා සිසුවියකට ජාත්‍යන්තර පාසලකින් දැඩි දඬුවම්!

දේදුනු කොඩියක් ගෙනා සිසුවියකට ජාත්‍යන්තර පාසලකින් දැඩි දඬුවම්!

සප්තවර්ණ දේදුනු ධජයක් රැගෙන ආ යොවුන් ශිෂ්‍යාවකගේ ක්‍රීඩා කටයුතු තහනම් කිරීම ඇතුළු දැඩි තහංචි මාලාවක් කොළඹ හතේ සුපිරි පාසලක් විසින් පනවා තිබේ.

කොළඹ ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ හදාරන යෞවනියකට එම දණ්ඩනය පැනවූ පාලනාධිකාරිය ඇය පාසලින් අස් කිරීමේ අවදානමට මුහුණ පා සිටින බවටද අනතුරු අඟවා ඇත.

වැඩබලන විදුහල්පතිනි සාරා පිලිප්ස් විසින් දෙමාපියන් වෙත යවන ලද ලිපියකින් දන්වා ඇති පරිදි “ගැහැණු ළමයින්ට නොගැලපෙන” දිගු කලිසමක් හැඳ පාසලට පැමිණීමත් ගුරු විරෝධය නොතකා දේදුනු වර්ණ ධජයක් රැගෙන ඒමත් ශිෂ්‍යාව විසින් කරන ලද විනය විරෝධී කටයුතු ලෙස දැක්වෙයි.

ඊට දඬුවම් ලෙසින් පාසලේ සියලුම ක්‍රීඩා කටයුතු, සංවත්සර උත්සව සහ මෝස්‌තර ප්‍රදර්ශන ඇතුළු බාහිර ක්‍රියාකාරකම් වලින් ශිෂ්‍යාව ඉවත් කිරීමේ දැඩි තීන්දුව ගෙන තිබේ.

තමන් ප්‍රිය කරන වර්ණවත් ඇඳුමකින් සැරසී පාසල් මෝස්‌තර ප්‍රදර්ශනයක පෙනී සිටීමට ශිෂ්‍යාව ගත් උත්සාහය විනය විරෝධී ක්‍රියාවක් බව ගගන වෙතද පිටපතක් ලැබී ඇති  විදුහල්පතිනිගේ ලිපියේ සඳහන් වෙයි.

“මෝස්‌තර ප්‍රදර්ශනයේ අඳින ඇඳුමේ අංගයක් ලෙස දේදුනු කොඩිය පැළඳිමට ඇයට අවශ්‍ය විය. ඊට ඉඩ දිය නොහැකි බවත්, එය නොඉවසන බවත් ඇයට කියන ලදී. ඇය දිගටම එම කබාය පුහුණුවීම් සඳහා රැගෙන ආවාය. තව දුරටත් මෝස්‌තර ප්‍රදර්ශනයට පෙනී සිටිය නොහැකි බව ඇයට දැනුම් දෙන ලදී. එහෙත් ඇය ඊයේත් (19. 09. 2018) පුහුණු සඳහා පැමිණියාය. අද උදේ ඇය පාසලට ගෙනා දේදුනු කොඩියෙන් ගමන් මල්ල ආවරණය කර තැබුවාය. එය ඉවත් කිරීම ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙය විනය විරෝධී ක්‍රියාවක් මෙන්ම පාසල් නීති උල්ලංඝනයක් බවත් ඇයට පැහැදිලි කර දෙන ලදී.”

ඒ සම්බන්ධයෙන් ශිෂ්‍යාව පෑ විරෝධය “ආචාරශීලී සහ ගෞරව සම්පන්න නොවන” බව වැඩ බලන විදුහල්පතිනියගේ අදහසයි.

දේදුනු ධජය සමකාමී අයිතිය සංකේතවත් කරයි.

(ගගන රේඩියෝ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න