ඉන්දීය විරෝධය පුස්සක් කරනවා - රාජිත  

ඉන්දීය විරෝධය පුස්සක් කරනවා - රාජිත  

ඇතැම් අය ඉන්දීය විරෝධයක් නිර්මාණය කළ ද රජය ඉන්දියාව සමග මිත්‍රශීලීව කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

අළුත්ගම, මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබීම නගර සැළසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කෙත්හේන ජල පිරිපහදු පරිශ්‍රයේ දී  (22) පැවැත්වුනු අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ සදහා ඉන්දියානු එක්සීම් බැංකුව රුපියල් මිලියන 24285 ක් ද, ලංකා බැංකුව රුපියල් මිලියන 4286 ක් ද, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 3707 ක් ද වැය කරන අතර, එහි මුළු ආයෝජනය රුපියල් මිලියන 32278 කි. නව ජල සම්බන්ධතා 32000 ක් සහ සේවා තත්ත්වයන් ඉහළ නැංවීම තුලින් අළුත්ගම, බේරුවල, මග්ගොන, පයාගල, කළුතර, මතුගම, දොඩංගොඩ, නෑබඩ, අගලවත්ත සහ මදුරාවෙල යන ග්‍රාම නිලධාරී වසම් 269 ක පන්ලක්ෂ හැත්තෑතුන්දහසක ජනතාවකට ප්‍රතිලාභ හිමි වෙයි. “කළුතර ලුණු වතුරට විසදුමක්” යන තේමාව යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අද ඓතිහාසික දවසක්. නියගය ඇති වූ විට කළු ගගට කරදිය මුසුවීම නිසා ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටිනවා. එම ගැටලුවෙන් දුප්පත් ජනතාව බේරා ගැනීම සදහා තමයි මෙම ව්‍යාපෘතිය දියත් වන්නේ. පසුගිය රජය සමයේ දී පළමු අදියර සහ දෙවන අදියර ක්‍රියාත්මක කෙරුනා. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 237 ක්. කළුතර සිට මග්ගොන, දර්ගා නගරය, බේරුවල වැනි ප්‍රදේශවලට එමගින් ජලය ලබාදුන්නා. එම අදියර වලට වඩා මෙවර වැය කරන මුදල රුපියල් මිලියන 32278 කි. මෙම ව්‍යාපෘතිය ලබන වසරේ ජුලි මාසය වන විට අවසන් වෙනවා. මමත් බේරුවල ජීවත්වන කාලයේ දී ජල හිගයෙන් පීඩා වින්දා. එම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මම දැඩි ලෙස උනන්දු වුනා. ව්‍යාපෘතිය සම්පුර්ණ වූ පසු බේරුවල ආසනයේ සෑම ගම්මානයකටම පානීය ජලය ලබා දී අවසන් වෙනවා.”

 ප්‍රතිලාභ වර්තමනයේම ලැබෙන සංවර්ධනයක් !

“වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලැබෙන්නේ වර්තමානයේයි. ලබන වසර වන විට තවත් ප්‍රතිඵල ලැබෙනවා. අපේ රජය මොනවද කලේ කියලා අහනවා. නව රජයක් බලයට පත් වූ පසු සැළසුම් කරලා වැඩ ආරම්භ කරන විට කාලයක් ගත වෙනවා. දිර්ඝ කාලයක් සැළසුම් කරලා තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දීර්ඝ මිතුදමක්. බෞද්ධ දර්ශණය, කළා ශිල්ප, සංගීතය, ආයුර්වේදය අපට ලැබුනේ ඉන්දියාවෙන්. අපේ රටේ තවත් බොහෝ දේ වලට ඉන්දියාව සම්බන්ධයි. රජ කාලයේ පටන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පැවැත්වුනා. නමුත් වර්තමානයේ ඇතැම් අය ඉන්දීය විරෝධයක් ඇති කිරිමට උත්සාහ කරනවා. මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට විකුණන බවට චෝදනා කරනවා. සංවර්ධිත ආර්ථිකයක් නොමැති දූපත් රාජ්‍යයකට තනිව ගොඩඑන්න බැහැ. අසල්වැසි ඉන්දියාවේ සහයෝගය ලබාගත යුතුයි. ගැටලු ඇතිවන ආකාරයට කථා කරන්න පුළුවන්. එවැනි අය මංසන්දි වලත් ඉන්නවා. 13 වන සංශෝධනය, ඉන්දු ලංකා ගිවිසුම ඉදිරිපත් කරනකොටත් විරෝධතා දැක්වූ අය ඉන්නවා. 

ජනප්‍රිය දේශපාලනය තුලින් රටක් ගොඩගන්න බැහැ ! 

නමුත් මම ඒවාට පක්ෂවයි කටයුතු කළේ. ජනප්‍රිය දේශපාලනය තුලින් රටක් ගොඩගන්න බැහැ. අනාගතයට වැදගත් තීන්දු තීරණ ගත යුතුයි. එමගින් තමයි රට හදන්න පුළුවන්. අදත් මත්තල දෙන්න එපා කියනවා. හම්බන්තොට වරාය චිනයට බදුදීමේ දී ද විරෝධතා මතු වුනා. වසරක් තුල දී වරාය ඉදිකිරීමේ ණය ලෙස මිලියන 9200 ක් ගෙවිය යුතුයි. රජය එම මුදල් සොයා ගන්නේ ඔබලාට බදු පැනවීම තුලින්. වසර 2020 වන විට හම්බන්තොට වරාය වෙනුවෙන් ලබාගත් ණය රුපියල් මිලියන 15200 ක් ගෙවීමට සිදු වෙනවා. මත්තල ගුවන් තොටුපලටත් එවැනි ණය මුදලක් ගෙවීමට තිබෙනවා. වත්මන් රජය ඉන්දියාව සමග මිත්‍රශ්‍රීලිව කටයුතු කරනවා. ආසියාවේ ඉන්දියාව සහ චිනය දැවැන්ත යෝධයන්. ආර්ථික වශයෙන් ද ඔවුන් ශක්තිමත්. ඉන්දීය රජයේ සහයෝගය ද මෙම පානීය ජල ව්‍යාපෘතියට ලැබීම අගය කළ යුතුයි.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විඡේමාන්න, පළාත් සභා අමාත්‍යවරුන්, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ශිල්පා කෙරාන් මහතා, නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

44526591 10156252873539130 9166240076940705792 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න