රජයේ වෛද්‍ය සංගමයට කොක්කක් !

රජයේ වෛද්‍ය සංගමයට කොක්කක් !

ජනතා අවශ්‍යතාවලට ඇඟිලි ගැසීමට ආත්මාර්ථකාමී වෛද්‍ය සංගමයට සදාචාරාත්මක අයිතියක් නැති බව සිවිල් ක්‍රියාකාරීන් සහ  විද්වතුන් සඳහන් කරයි.

 නිවේදනයක් නිකුත් කරන විද්වත් වෘත්තික පිරිසක් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහත දැක්වේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංමයේ නායකත්වය 2018 ඔක්තෝම්බර 18 වන දින ඉතා දිගු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර පසුදින එහි සාරාංශගත නිවේදනයක් නැවත නිකුත් කරනු ලැබ ඇත. එම දිගු නිවේදනයෙහි සඳහන් අයුරු ඔවුන්ගේ ප්‍රශ්න 07 වෙනුවෙන් සතියක් ඇතුළත සාධාරණ විසඳුම් නොලැබෙන්නේ නම්, රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දීප ව්‍යාපත් යෝධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තීන්දු කරනු ඇත.

 රජයේ වෛද්‍ය සංගමයේ නිවේදනයට ප්‍රතිචාර !

ඔවුන්ගේ එම දිගු නිවේදනය අපි කියවීමු. ආණ්ඩුවේ හෝ ජනතාවගේ අවධානය යොමු විය යුතු වැදගත් කිසිවක් එහි නොවුනි. අභියාචානාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සයිටම් වෛද්‍ය පීඨය උපාධි ලබා දිය හැකි නෛතික ආයතනයක් යැයි පිළිගනු ලැබ ඇත. ඒ අනුව, එහි වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවෙහි තාවකාලික ලියාපදිංචිය ලබාදෙන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය. ආණ්ඩුව සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථිර තීන්දුවක් නොගෙන, කොතලාවල ආරක්ෂක ඇකඩමිය ඊට ගැට ගසනු ලැබුවේ එම පනත සංශෝධනය කිරීමෙනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමග සයිටම් වෛද්‍ය පීඨය තරමට හෝ පහසුකම් නැති කොතලාවල ආරක්ෂක ඇකඩෙමියේ වෛද්‍ය පීඨය දැන් ආණ්ඩුව අත ඇති තවත් තේරීමක් පමණි. එළෙසින්ම සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවෙහි තාවකාලිකව ලියාපදිංචිකර ඔවුන්ට අවශ්‍ය කෙටිකාලීන පුහුණුව සඳහා පහසුකම් ලබාදීමේ වගකීමද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ආණ්ඩුව වෙත පැවරෙන්නේය. ඒ සමග, සයිටම් වෛද්‍ය පීටයේ ඉතිරි සියලු වෛද්‍ය උපාධිලාභීන් මෙතෙක් අතරමං කර තැබූ හෙයින් ඔවුන්ගෙන් අමතර කිසිදු අය කිරීමකින් තොරව, වැදගත් ස්ථාවර විසඳුමක් ලබාදීමේ වගකීමද දැන් ආණ්ඩුව සතුය.

 සයිටම් ප්‍රශ්නය 

කෙටියෙන් කියන්නේ නම්, සයිටම් ප්‍රශ්නයට අත ගැසීමේ කිසිදු නෛතික හෝ සදාචාරත්මක අයිතියක් දැන් වෛද්‍ය සංගමයට නැත. එබැවින් සයිටම් වෛද්‍ය උපාධිලාභීන්ගේ ජීවිත වලට අත පෙවීම වෛද්‍ය සංගමය වහා නතර කළ යුතුය.

එළෙසින්ම, දැනටත් පමා වී ඇති සමාජ අවශ්‍යතාවක් වන නව නීතියක් මගින් වෙනත් වෘත්තිකයින් හා විද්වතුන්ද ඇතුළත් කෙරෙන පරිදි වෛද්‍ය සභාව අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ගෙන ඇති පියවරටද වෛද්‍ය සංගමය අත නොගැසිය යුතුය. මහ බි‍රතාන්‍යයේ, කැනඩාවේ, ඕස්ත්‍රේලියාවේ සහ එවැනි වෙනත් රටවල වෛද්‍ය වෘත්තිකයින් නොවන වෙනත් සමාජ නියෝජන ඔවුන්ගේ වෛද්‍ය සභා සඳහා ලබාගෙන ඇත්තේ ඒවායේ අධිකාරී බලය ශක්තිමත් කිරීමටය. ඇමතිවරයා විසින් පස් (05) දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත්තේ බි‍රතාන්‍ය වෛද්‍ය සභාව පිහිටුවා ඇති පනත සහ වෙනත් රටවල එවැනි නීති රෙගුලාසි අධ්‍යනයකර ජනතාවගේ අවශ්‍යතා වඩා හොඳින් ඉටු කෙරෙන ආකාරයේ නව නීති කෙටුම්පතක් ඉදිරිපත් කරන මෙන් පැහැදිලි වගකීමක් ඇතිවය.

මෙය ඉතා සාධනීය පියවරක් යැයි අපි විශ්වාස කරමු. එය තව දුරටත් දියුණුකර ඉදිරියට ගත යුතු යැයිද අපි විශ්වාස කරමු. ඒ සඳහා වෛද්‍ය වෘත්තියෙන් පිටත විද්වත් සමාජ නියෝජනයක් කමිටුවට එකතු කළ යුතුව ඇත. එහි කාන්තා නියෝජනයක් තිබීමත් අපි අවධාරණය කරමු. විශේෂයෙන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජන නියෝජනය වැදගත් එකතුවක් විය යුතුය. එවගේම, නව නීතිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සමාජ කතිකාවකට බඳුන් විය යුතු ක්‍රියාවලියක් යැයි අපි අවධාරණය කරමු. අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට පෙර ජනතාව අතර සංවාදයටද තැබිය යුතු ය. ඒ සමග අවධාරණය කළ යුත්තේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නායකත්වය වගකිව යුතු නායකත්වයක් ලෙස කටයුතු කිරීමට කැමැත්තේ නම්, ඔවුන් කළ යුත්තේ මෙම කමිටුව ගැරහීම වෙනුවට ඔවුන්ටද ඇති අයිතිය අනුව ඔවුන්ගේ යෝජනා සියල්ල කමිටුවට ඉදිරිපත් කිරීමය.

 තේරුමක් නැති අවස්ථාවාදී  විරෝධතා !

එවැනි පසුබිමක අපගේ ඉතා දැඩි විශ්වාසය වන්නේ හිස් විරෝධතාවල නිරතවන වෛද්‍ය සංගමය කඩාකප්පල්කාරී කරදරකාරී සංවිධානයක් බවය. එබැවින් ඔවුන්ට ඉතා දැඩි ලෙස කිව යුත්තේ ඔවුන්ගේ පස් (05) අවුරුදු වෛද්‍ය අධ්‍යාපනයද ඇතුලුව අවුරුදු 18 ක ඔවුන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකර ඇත්තේ මේ රටේ ජනතාව බවය. ඔවුන්ට නොගෙවිය යුතු දීමනාද සමග ඔවුන්ගේ මාසික වැටුප ගෙවන්නේ මේ රටේ ජනතාව යැයි ඔවුන්ට මහ හඬින් මතක් කළ යුතුය. වෛද්‍ය සංගම් නායකයින්ට ඉතා පැහැදිලිව කිව යුත්තේ මහජන මුදලින් අතිකාල වැටුප් ගැනීමට අවශ්‍ය නම්, අනෙක් රජයේ සේවකයින් මෙන් වෛද්‍යවරුන්ද පැමිණීමේ ලේඛනයක අත්සන් තැබිය යුතු යැයි කියාය. නැවත නැවතත් නොකිවමනා අනෙක් කාරණාව නම්, දැනට මාසිකව ලබා ගන්නා “ඩැට්” (DAT - අපසුතාව,ඉදිරිපත්වීම සහ ගමනාගමනය සඳහා) දීමනාව සහ බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලීම් කිසිවක් ලබා දීමට මේ රටේ ජනතාවට අවශ්‍යතාවක් නැත යන්නය.

 රජයේ වෛද්‍යවරුන්ගේ වගකීම කුමක්ද? 

රජයේ වෛද්‍යවරුන් ලෙස මහජන මුදලින් යැපෙන්නට ඔවුන්ට අවශ්‍ය නම්, ඔවුන් පළමුව කළ යුත්තේ ජනතාවට සේවය කිරීම ප්‍රමුඛතාවය ලෙස පිළිගැනුමය. අපට නව නීතියක් අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙනි. ඉතා දියුණු,තත්ත්වයෙන් ඉහළ, රෝග නිවාරණ සෞඛ්‍ය සේවාවක් සමග ඉහළ ප්‍රමිතියක සෞඛ්‍ය සේවයක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ හැකි සමාජ නියෝජනයක් සහිත වෛද්‍ය සභාවක් අවශ්‍ය වන්නේද ඒ වෙනුවෙනි. වෛද්‍ය සභාව වර්තමානයේ මෙන් වෛද්‍යවරුන්ගේ සංගමයේ සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සම්මේලනයේ බලහත්කාරකම් වලින් නිදහස් කර තබා ගැනීමටය.

අවසාන වශයෙන් කිව යුත්තේ ජනතාවගේ මුදලින් යැපෙන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නායකත්වයට ජනතා අභිලාෂයන්ට අත පෙවීමේ නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත යන්නය. ජනතාවට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය හැකිය.

එකඟවූවන් -

  1.  කුසල් පෙරේරා - මාධ්‍යවේදී දේශපාලන විචාරක
  2.  මහාචාර්ය අජිත් අබේසේකර
  3.  පූජ්‍ය ජෙයපාලන් කෲස් පියනම
  4.  විශාඛා ධර්මදාස - යුද්ධයෙන් විපතටපත් කාන්තාවන්ගේ සම්මේලනයේ සභාපතිනි
  5.  ඇන්ටන් මාකස් - සම ලේකම්, නිදහස් වෙළඳකලාප හා පොදු සේවා සේවක සංගමය
  6. සුධර්මා ශ්‍යාමලී - සභාපතිනි, නිදහස් වෙළඳකලාප හා පොදු සේවා සේවක සංගමය
  7.  චන්දන කීර්ති බණ්ඩාර - මාධ්‍යවේදී
  8.  සුගත් අමරසේකර - වෘත්තීය විද්‍යාඥ
  9.  අම්රිත් මුතුකුමාරු - පොදු සමාජ ක්‍රියාධර
  10.  වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග
  11.  ක්‍රිශාන් සිරිවර්ධන - සන්නිවේදන විශේෂඥ
  12.  පරාක්‍රම නිරිඇල්ල - චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ
  13.  විශ්නු වාසු - සංගීතඥ, චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිර්මාණ ශිල්පී
  14.  ආචාර්ය ජයන්ත සේනාධීර - විවෘත විශ්ව විද්‍යාල ඇදුරු
  15.  රාසයියා ලෝහනාදන් - රංගණ ශිල්පී, තිර රචක
  16.  සුමුදු මල්ලවාරච්චි - රංගණ ශිල්පී, සංගීතවේදී
  17.  සෙල්වරාජා ලීලාවතී - රංගණ ශිල්පිනී
  18.  ඉනෝකා ලංකාපුර - රංගණ ශිල්පිනී
  19.  ඒ.එෆ්.එම් ඉක්‍රම් - විමසිලිමත් පුරවැසි
  20. සුධාරක අර්තනායක - සමාජ ක්‍රියාධර
  21.  ප්‍රදීප් සංගපාල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න