තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ජනාධිපති සිරිසේනගේ මුහුණටම පවසා ඇති බව ශ්‍රීලනිප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙසේ ජනාධිපතිවරයා අමතා පවසා ඇත්තේ අද (29) උදෑසන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා අද උදෑසන 5.00 ට පමණ දුරකතනයෙන් අමතා ශ්‍රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ දැරූ ඇමතිවරුන් කැඳවා ඇත. පසුව ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඇති අතර එහිදී දුමින්ද අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අපෙන් අහලද තීන්දු ගත්තේ - දුමින්ද
ජීවිතය පවා අවධානමේ යොදාගනිමින් 2014 වසරේදී රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්වී පැමිණියේ මෛත්‍රීපාල සිරිසේන වෙත තිබූ පෞද්ගලික හිතවත්කමකට පමණක් නොව රාජපක්ෂ රෙජීමයේ තිබු ඒකාධිපති දුෂිත පවුල් පාලනය අවසන් කිරීමේ චේතනාවෙන් බවත් එතරම් අවධානමක් ගත් තමන් ඇතුළු පිරිසට කිසිඳු දැනුම්දීමක් සිදුනොකර රාජපක්ෂලා නැවත රජ කරවන්න ජනාධිපති සිරිසේනට හැකිනම් තමන්ටද ස්වාධීන අදහසක සිට කටයුතු කිරීමට නිදහස අවශ්‍ය බවද එහිදී දුමින්ද අමාත්‍යවරයා පවසා ඇත.
රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද ?
2014 කළ කී කතා පමණක් නොව සිය පියාගේ දේහයට පවා අපකීර්තියක් වන ආකාරයට තමන් තවදුරටත් දේශපාලනය නොකරන බවත් රාජපක්ෂලා සමඟ දේශපාලන දීගයකට ගොස් රෙදි නැතුව පාරේ යනවාට වඩා දේශපාලනයෙන් සමුගෙන ගෙදර යන බවද එහිදී දුමින්ද අමාත්‍යවරයා ඉතාම සංවේගයෙන් යුතුව අදහස් දැක්වූ බවද වාර්තා වෙයි.
දුමින්ද ඔයා UNP යනවද - සිරිසේන
දුමින්ද අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයෙන් යන එන මං නැතිව ගොස් ඇති ජනාධිපති සිරිසේන අවසානයේ අසා ඇත්තේ දුමින්ද ඔයා UNP එකට යනවද කියා පමණය.
යනවා නම් යන්නේ ඔයාට බුලත් දීලා - දුමින්ද
එහිදී දුමින්ද අමාත්‍යවරයා, තමන් පදුරට නොකියා පළායන ආකාරයේ නිවටයකු නොවන බවත් තීන්දුවක් ගන්නවා නම් ඒ ගන්නේ බුලත් අතක් සර්ගේ (ජනාධිපති සිරිසේනගේ) අතට දී යන්නම් කියා පමණක් බවත් පවසා ඇති බවද වාර්තා වෙයි.
මේ අතර ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය විසින් ඇයගේ සම්බන්ධතා යොදාගෙන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 10 කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කිරීමේ මෙහෙයුමක් දියත්කර ඇති බවය. ඒ සම්බන්ධව ඇය මේ වන විටත් අදාළ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය උපදෙස් නිකුත් කරමින් සිටින බවද දැනගන්නට ඇත.

