එළඹෙන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධ ගැටලුව මෙතෙක් විසඳී නැති අතර ඒ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරය දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව විසුරවා හැරීම සම්බන්ධව ජනාධිපති සිරිසේන ගනුලැබූ තීරණය හේතුවෙන් මේ අර්බුදය පැනනැගී ඇති අතර පක්ෂයේ ප්‍රබලයින් රැසක් මේ වන විට ඒ සම්බන්ධව දැඩි තීන්දුවක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙයි.
මෙහිදී මතුව ඇති තත්ත්වයට ජනාධිපති සිරිසේන සෘජුව වගකිව යුතු බව වැඩි පිරිසකගේ අදහස වී ඇති බවද දැනගන්නට ඇත.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ තීරණය අමරවීර කියයි !
මේ අතර ශ්‍රීලනිප ජේෂ්ඨයින් රැසකගේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකම ලැයිස්තුවකින් මැතිවරණය සඳහා ඉදිරිපත් වියයුතු බවය. එහෙත් එහිදී ඇතැමුන් අවධාරණය කර ඇත්තේ 2015 අගෝස්තු මැතිවරණයේදී රාජපක්ෂ පාර්ශවය තමන් ඉල්ලක්ක කර මනාප ලබානොදෙන ලෙස සහ ප්‍රචාරක රැස්වීම් වල පාක්ෂිකයන් යොදවා "හූ" කියවීම වැනි නොපනත්කම් සිදුවූ බවත් එම තත්ත්වය මේ අවස්ථාවේද මතුවීමේ අවධානමක් ඇති බවය.
කෙසේ වුවත් ශ්‍රීලනිප ජේෂ්ඨයින්ගේ බහුතර මතය ඊයේ (10) අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රසිද්ධ කළ අතර එහිදී ඔහුද සඳහන්කර සිටියේ ශ්‍රීලනිප - පොදුජන පෙරමුණ එක සන්ධානයකින් ඉදිරිපත් වියයුතු බවය. ඒ සඳහා එක ස්ථාවරයක් ගැනීමට බාධාවක් නැතිවනු ඇති බවද ඔහු පැවසීය.
එසේම ඒ ගැන අවසන් තීන්දුව ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ මහතා ගනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පොහොට්ටු තීරණයේ වෙනසක් නෑ !
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එළඹෙන මැතිවරණයකදී තම පක්ෂය පොහොට්ටුව ලකුණින් තරග කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමක් සිදුවුවහොත් එය සිදුවිය යුතු වන්නේ මැතිවරණයෙන් පසුව බවත් ඒ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පමණක් බවත් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.
එසේම ශ්‍රීලනිප අපේක්ෂකයන් වෙත තම නාමයෝජනා ලයිස්තුවේ ඉඩ වෙන්කිරීම අනවශ්‍ය කරුණක් බවත් එයින් තමන්ගේම අපේක්ෂකයින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ඇති අවස්ථාව අහිමිවීමක් සිදුවන බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
මහින්දත් පොහොට්ටුවට !
මේ අතර දිගින් දිගටම රාජපක්ෂ හිතවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගනිමින් සිටියි. ඒ අනුව මහින්ද රාජපක්ෂ අද (11) සිය විජේරාම නිල නිවසේදී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත්තේය.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික සංඛ්‍යාවක් පොහොට්ටුවට එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.

