කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව තමන් දන්නා නමුත් එළඹෙන දෙසැම්බර් 5 වනදාට නියමිත ආකාරයට විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඔහු පරාජය කර පෙන්වීමෙන් පසුව තමන් තීන්දුවක් ගන්නට සූදානම් බව සිරිසේන ජනාධිපති පවසා ඇත.
ඒ අද (30) රාත්‍රියේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
එහිදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ ඔක්තෝබර් 26න් පසුව රට පත්ව ඇති අරාජිකත්වය සම්බන්ධව සහ එය කඩිනමින් විසඳිය යුතු බවය.
විශ්වාසභංග යෝජනාවෙන් මහින්ද රාජපක්ෂ නම් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති පරාජය කර පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය පෙන්වන මන්ත්‍රීවරයාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානම් බවද එහිදී සිරිසේන ජනාධිපති පවසා ඇතැයිද වාර්තා වෙයි.
එසේම දෙසැම්බර් 03 වනදා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡාවකට එන ලෙසත් එහිදී දැනුම්දුන් බවද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් සඳහන් කරයි.
ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කුමන්ත්‍රණයක් දියත්කර ආණ්ඩු මාරුකළ සිරිසේන ජනාධිපති නටන මේ නාඩගම ඉතා පැහැදිළිය. මේ සූදානම් වන්නේ අන් කිසිවක් නොව දෙසැම්බර් 7 වනදා දක්වා රට අස්ථාවරව පවත්වාගෙන යන්නය. ඒ සිය අන්තිම තුරුම්පුව ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් සිදුකර සිය ව්‍යවස්ථා විරෝධී ගැසට් පත්‍රයට නෛතික වලංගුවක් ලබා ගැනීමය.

