ජනපති ව්‍යවස්ථාව කඩලා නම් එය පාර්ලිමේන්තුවේ විසඳගන්න - නීතිපති

ජනපති ව්‍යවස්ථාව කඩලා නම් එය පාර්ලිමේන්තුවේ විසඳගන්න - නීතිපති

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බව නීතිපති ජයන්ත ජයසුරිය පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමේ දෙවන දිනය වූ අද  (05) නීතිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර සිටියේය.

එසේම  ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවද  නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා අදාළ පෙත්සම් විභාගයේ වගඋත්තර කරුවෙකුද වෙයි.  කෙසේ වුවත්  ඔහු වැඩිදුරටත් පවසා සිටියේ   අදාළ පෙත්සම් විභාග කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්,එබැවින් මෙම පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙසත්ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න