Language Switcher

V2025

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය දීර්ඝ කරයි !

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් 08 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදා (දෙසැම්බර් 07) දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එහි සෙසු සාමාජිකයෝය.

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු බ්‍රහස්පතින්දා පෙරවරුවේ විනිසුරු මඬුල්ල හමුවේ තවදුරටත් කරුණු දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අදහස් දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, තවදුරටත් කියා සිටියේ ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගතව තිබෙන බවය.

'නිෂ්ප්‍රභා කරන්න'

අතරමැදි පෙත්සම්කරුවකු වන අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කළ යුතු බවය.

සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති අතර, එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බව ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

අතරමැදි පෙත්සම්කරවකු වන ජගත් වැල්ලවත්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (c) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බවය.

ඒ අනුව මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ තර්කය විය.

අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම සහ ජනාධිපතිවරයා විධායක බලය අත්හැර දමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය දැන අධිකරණය දක්වා පැමිණ ඇති බව සඳහන් කළ ඔහු, මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බැවින් එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත් කියා සිටියේය.

අතරමැදි පෙස්සම්කරුවකු වන ආචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ( 2) (c) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33 (2) (c) සහ 62 (2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති අතර එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන තර්ක කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පළමු දිනයේ විභාගය

පෙත්සම්වලට අදාල විභාගය ආරම්භ වූයේ දෙසැම්බර් 4 වෙනි අඟහරුවාදාය.

ඒ අනුව පළමු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවය.

පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසුපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවකඑය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

එහෙත්, මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම, මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන ඊ කණගීස්වරන් සහ තිලක් මාරපන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා, එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේසී වැලිඅමුණ කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවය.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුන ද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ද ජනාධිපති නීතිඥ වැලිඅමුණ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

(බීබීසී)