2019 වසරට අදාළව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත කරනොගතහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රාජ්‍ය වියදම් පමණක් නොව ජනාධිපති සිරිසේනටද හාමතේ ඉන්න සිදුවන තත්ත්වයක් නිර්මාණය වේ.
ඒ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ප්‍රකාරව රාජ්‍ය මුල්‍ය සම්බන්ධ සියළු වගකීම් පාර්ලිමේන්තුව සතුවන නිසා පමණක් නොව පාර්ලිමේන්තුව විසුරවීමක් සිදුව නොමැති නිසා මාස තුනක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ගෙන වියදම් කිරීමට ජනාධිපතිට තිබෙන බලය අහිමිවන නිසාය.
ඒ බව ව්‍යවස්ථාවේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත.
එසේම 150 ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ඒකාබද්ධ අරමුදල සතු මුදල් නිකුත්කළ හැකියාව ඇත්තේ මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අත්සන ඇති බලපත්‍රයක් හරහා පමණය. ඒ හැර ඒකාබද්ධ අරමුදලේ මුදල් ගැනීම නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද වෙයි.
කෙසේවුවත් මාස තුනක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලේ මුදල් ජනාධිපතිට වියදම් කිරීමට හැකියාව තිබෙන ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) (4) තුළ එම ප්‍රතිපාදන ඇතත් ඒ සඳහා ද අවස්ථාව තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරවා ඇති අවස්ථාවක පමණය.
මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හැරීමක් සිදුව නොමැති අතර එබැවින් ව්‍යවස්ථාව දරුණු ලෙස උල්ලංඝනය කිරීමකින් මිස ජනාධිපතිටද 2019 වසරේ කිසිඳු මුදලක් වියදම් කිරීමට අවස්ථාව හිමි නොවේ. ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සිරිසේන ජනාධිපතිට දැන් පාර්ලිමේන්තුවේ බහුතරය විසින් යෝජනා කරන මන්ත්‍රීවරයාට අගමැතිකම ලබාදී අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම හැර වෙනත් විකල්පයක් නැත.

