නිශාන්ත සිල්වා ඝාතන තැතක් හෙළිවේ !

නිශාන්ත සිල්වා ඝාතන තැතක් හෙළිවේ !

රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා කරනු ලැබු අපරාධ සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවන ප්‍රධාන විමර්ශන නිලධාරියාට සහ එම අපරාධ වල ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට හානි කිරීමේ අරමුණින් නාවික හමුදාවේ ඉහළ නිලධාරින් විසින් මෙහෙයවනු ලබන බුද්ධි අංශ සමාජිකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට හෙළිදරව් වෙමින් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු විසින් ලබාදෙන ලද ප්‍රකාශයන් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) වාර්තා කරයි.

පසුගිය දෙසැම්බර් 20 වැනි දින, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැක කටයුතු ලෙස රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබු එන්. එම්. ඩබ්ලියු. ජානක (38190) සහ ඒ. එස්. එන්. ටෝනි (103183) නමැති නාවික බුද්ධි සමාජිකයන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ නාවික නිලධාරින්ට විරුද්ධව සාක්ෂි සපයන පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගෙන එන ලෙස පවසමින් නාවික බුද්ධි අධ්‍යක්ෂ කපිතාන් සංජීව ප්‍රේමරත්න විසින් තමන්ව අධිකරණය වෙත එවු බව ය.

තමන්ව ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලීමට එම නාවික බුද්ධි සාමාජිකයන්ව එවා ඇතැයි ඔවුන්ගේ ප්‍රකාශ මගින්ද තහවුරු වී ඇතැයි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව යි.

මීට පෙරද පොලිස් පරික්ෂකවරයා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරුණු උදයකුමාර සහ වික්‍රමසූරිය නැමති නාවික බුද්ධි අංශ සමාජිකයන් දෙදෙනා ද, පෙරේරා නැමති යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයාව අත් අඩංගුවට පත් විය.

එම නාවික බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අය වන අත් අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගෙන ගොස් වධහිංසා කිරීම පිළිබඳව චෝදනා ලැබූ යුධ හමුදාවේ දෙවැනි සන්නද්ධ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටි බවයි ජේඩිඑස් පවසන්නේ.

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුමැතිය මත පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට මීගමුව පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දෙමින් සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කිරීමට මීට පෙර දරණ ලද උත්සාහය ව්‍යාර්ථ වී ගියේ පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරුව අවලංගු කිරීම හේතුවෙනි.

පොලිස් පරික්ෂකවරයා හට එවැනි හදිසි ස්ථාන මාරුවක් ලබා දිමේ අරමුණ රාජපක්ෂ පාලන සමයේ සිදුවු මාධ්‍යවේදීන් ඝාතනය කිරිම් හා අතුරුදහන් කිරිම සම්බන්ධ පරීක්ෂණ අඩ පණ කිරිම බවට දේශිය සහ ජාත්‍යන්තර පාර්ශව ගණනාවක්ද චෝදනා කර තිබුණි.

(සිලෝන්නිව්ස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න