අයවැයේ අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04 !

අයවැයේ අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04 !

2019 ජාතික අයවැයේ අවසන් ඡන්ද විමසීම 2019 අප්‍රේල් මස 04 දින සිදුකිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වන බවත් මෙම අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීම රජයේ බලාපොරොත්තුව බවත් එම නිවේදනයේ සඳහන්කර ඇත.

මේ අනුව ඒ ඒ අමාත්‍යාංශවල වැය ශීර්ෂ සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබනුයේ අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ක්‍රියාකාරි සැලසුම් ඉදිරිපත් කිරීමේ පදනමින් බවද එහි සඳහන්ව ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කල අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එමෙන්ම මෙම අයවැය මගින් පුනරාවර්තන වියදම්, දළ දේශිය නිෂ්පාදිතයෙන් 15%ප්‍රතිශතයකට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අයවැය හිඟය දළ දේශිය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීම සහ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම යන ප්‍රතිඵලයන් සාක්ෂාත් කර ගැනීමට රජය කටයුතු කරමින් පවතී.

2015 වර්ෂයේ සිට වත්මන් රජය පවත්වාගෙන ආ රාජ්‍ය ආදායමේ වර්ධන වේගය ඉදිරියටත් පවත්වාගෙන යාම ද එහි එක් අරමුණක් වේ.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 2015 වර්ශයේ 13.3% ක අවම මට්ටමක පැවතිණි. 2016 වර්ෂයේ 14.2% ක් ලෙස ද 2017 වර්ෂයේ 13.8% ක් ද වශයෙන් රජයේ ආදායම වර්ධනීය මට්ටමක පවත්වා ගැනීමට වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තීන් මත හැකියාව ලැබිණි.

රාජ්‍ය ආදායම් ප්‍රතිශතය තව දුරටත් වර්ධනය කර ගනිමින් 2019 වර්ෂයේ 17% දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. බදු ආදායමේ වර්ධනය සහ අපනයන ආදායමේ වර්ධනය ඉකුත් වර්ෂයන් හී සාධනීය තත්වයක පැවතීම රාජ්‍ය ආදායම ඉහළ අගයක් ගැනීමට බලපෑ අතර එම අංශයන් හී වර්ධනය තවදුරටත් පවත්වා ගනිමින් අපේකෂිත රාජ්‍ය ආදායම් වර්ධනය ලඟා කර ගැනීමට රජය කටයුතු යෙදීමට බලාපොරොත්තු වේ.

2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අතර පෙබරවාරි 05 දින එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම(දෙවන වර කියවීම) මාර්තු මස 05 දින පැවැත්වේ. තුන්වැනි වර කියවීමේ විවාදය මාර්තු13 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත .

මේ සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

Capture

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න