Language Switcher

V2025

ඌව ඩිලාන්ගේ අප්පොච්චිට : කැෆේ කීර්ති දකුණට විසිවෙයි !

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් රජිත් කීර්ති තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය 07දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් දිවුරුම් දුන් නමුත් ඌව පළාත් ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ දැඩි විරෝධය හේතුවෙන් රජිත් කීර්ති දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීම සිදුව ඇත.

එහිදී රජිත් කීර්ති තෙන්නකෝන් ඌව පළාත් ආණ්ඩුකාරවරයා බවට පත්කළ හොත් තමන් ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවත්ව දේශපාලන තීන්දුවක් ගන්නා බව මෙහිදී ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක දැඩි විරෝධයක සිට ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ සිය පියාණන් වන දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා ඌව ආණ්ඩුකාර ධුරයට සහ රජිත් කීර්ති දකුණේ ආණ්ඩුකාර ධුරයට පත්කිරීම හරහා මතුව ඇති ප්‍රශ්නය විසඳාගත හැකි බවය. ඒ අනුව වාර්තා වන්නේ ජනාධිපති සිරිසේන ඒ අනුව මෙම ආණ්ඩුකාර ධුර මාරුව සිදුකර ඇති බවය.