අන්තවාදය දේශපාලන ආයුධයක් වෙලා - සජිත්

අන්තවාදය දේශපාලන ආයුධයක් වෙලා - සජිත්

මෙරට ඉපැරණි සංස්කෘතිය හා අභිමානවත් ඉතිහාසය අනුගමනය කරමින් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නව සංවර්ධිත යුගයක් කරා පිය නගන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය.

සංස්කෘතික ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි සති දෙක තුළ ‘නව පුනරුදය’ නමින් ජාතික වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කර ඒ හරහා සියලුම ආගමික සිද්ධස්ථාන ගොඩ නැගීමටත්, ආරක්ෂා කිරීමටත් කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ජාතික වැඩසටහන තුළින් මෙරට සියලුම ජාතීන් අතර සංහිදියාව, සාමය, සහෝදරත්වය හා සෞභාග්‍ය ඇති වන බවත්, එමඟින් ජාති වාදී සහ ආගම් වාදී ක්‍රියා සම්පූර්ණයෙන්ම නවතින බවත්, අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

අද මෙරට අන්තවාදය නිර්මාණය වී එය දේශපාලන ආයුධයක් බවට පත්ව විවිධාකාර කුමන්ත්‍රණ සිදුවන බවත්, මෙරට ‘නව පුනරුදය’ ස්ථාපනය කිරීම තුළ එම කුමන්ත්‍රණ පරාජය කිරීමට හැකි බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ‘සැමට සහන’ වැඩසටහන යටතේ අළුතින් ඉදිකළ තංගල්ල, වාඩිගල මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම මහජන පොළ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 216 කි. මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 201 කට රුපියල් ලක්ෂ 201 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

එමෙන්ම අමාත්‍යවරයා විසින් මහජන පොළේ පරිපාලන කටයුතු තංගල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් එල් තොම්සන් මහතාට මෙහිදී භාරදෙන ලදි. මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාද එක්ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න