'පවතින කාලගුණික තත්ත්වයත් සමග වර්ෂාව නොමැති නිසා අපි හිතුවේ විදුලි ඉල්ලුමත් සැපයුම්ත් අතර ගැටළුවක් ඇති වේවි කියලා. මීට ඉහතදී සිද්ධ වුනේ, අවසන් සතියේ ගිහින් හදිසි විදුලි මිලදී ගැනීම් සිදුකිරීමයි. නමුත් අපි සැලසුම් කළේ මාසයකටවත් පෙර මෙම තත්ත්තවයට සූදානම් වුණොත්, එම මිලදී ගැනීම පූර්ණ විනිවිදභාවයක් ඇතිව සිදුකිරීමටයි. මම ජනතාවගෙන් ඉල්ලන්නේ, එක් දිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමලා, විදුලි සංරක්ෂණයට එකතු වෙන්න කියලා. ඒකෙන් අපිට වර්ෂයකට මෙගාවොට් 100 ක් පමණ ඉතිරි කරගන්න හැකිවේවි. එහෙම කළොත් අපිට කිසිසේත්ම මේ හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න වෙන්නේ නැහැ. කොහොමටත් මේ අවස්ථාවේදී අපට හදිසි විදුලිය මිලදිගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ, යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (30) ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඇතුල්කෝට්ටේ පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා පැවති විශේෂ චාරිකාවකට එක්වෙමිනි.
විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාද මෙම අවස්ථාව සදහා එක්විය.
මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක ,
'ලංවිම ලාභ ලැබුවේ අධික වර්ෂාවක් පැවති 2015 වසරේදී. අධික වර්ෂාවක් පවතිද්දි, තාප බලාගාර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ දේවල් වලින් තමයි ලාභ උපයන්න පුළුවන් වුණේ. නමුත් වසර 04 ක් 05 ක් පුරාවටම විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයෙන් පාඩු ලබන්නේ. දැන් මටත් චම්පිකටත් සිද්ධ වෙලා තියෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ එදා නොගත්ත තීන්දු තීරණ අරගන්න. ඉල්ලුම වැඩිවෙද්දි, සැපයුම ස්ථාවරව පවතිද්දි, ඉබේම හිගයක් ඇතිවෙනවා. ඒ හිගය පියවන්නනම්, විදුලිබල පද්ධතියට විකල්ප මාර්ග වලට යොමු වෙන්න වෙනවා. එහිදී අපි බලන්නේ මිල අවම කිරීම සහ අනවශ්‍ය ඉල්ලුම අඩු කිරීමටයි.
ගල් අගුරු බලාගාර මේ රටට යෝග්‍ය නැහැ කියලා කියනවානම්, මේ වනවිට වසර 11 ක් තිස්සේ රට තුළ පරිහරණය කලේ ඇයි. අවම වියදමකට නිෂ්පාදනය කරනාවනම් ගැටලුවක් නැහැ. නමුත් ගල් අගුරු බලාගාර වලින් අඩු වියදමකට විදුලිය නිපදවන්න බැරිවුණොත්, විදුලිබිල වැඩි වෙනවා. ඒ විදියට විදුලිබිල වැඩි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ගල් අගුරු වලින් පරිසර දුෂණයක් තියෙනවා කිව්වා වගේම පුනර්ජනනීය බලශක්තියත් පරිසරයට යම් යම් හානි ඇතිවන බව සමහර පරිසර සංගම් පවසනවා. විදුලිය දුන්නත් නරකයි, නැති වුණත් නරකයි. මේක තමයි ගැටළුව.
සූර්ය විදුලිබලය මේ වනවිට ප්‍රශස්ත මට්ටමක පවතිනවා. ගැටළුවකට තිබෙන්නේ සූර්ය විදුලිය නිපදවන්න පුළුවන් වන්නේ දිවා කාලයට පමණක් වීමයි. ඒ නිසා අපි බැටරි තුළින් සූර්ය විදුලිබලය රදවා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරනවා.
සාමාන්‍යයෙන් ඡන්දයක් ළං වෙද්දි මොනවා හෝ නැති ප්‍රශ්න මවනවා. සමහරක් නිලධාරීන් තමන්ගේ නිල ඇදුම් තුළින් තමන්ගේ නිලය රැකගෙන, රැකියාව කරන්නේ නැතිව රැකියාව හැටියට දේශපාලනය කරනවා. ඔවුන් කරන්නේ බිල්ලෝ මවන එක. දැන්වත් අපි එකතුවෙලා, මේ බොරු දේවල් අතඇරලා දාලා, මේ රට ඉදිරියට ගෙනියන්න වැඩකළ යුතුයි'

