බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සදහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් අද (05 වන දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති බව වාර්තා වෙයි.
එහිදී බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මහබැංකු අධිපතිවරයා වෙත උපදෙස් දී ඇති බවද වාර්තා වෙයි.
මේ බව සඳහන් වන්නේ ජනවාරි 5 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතින් නිකුත් කර ඇති නිවේදනයකය.
මේ පිළිබඳ පැවැත්වූ සාකච්ඡාව සඳහා මහ බැංකුවේ අධිපතිවරයාද සම්බන්ධවී ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බවය. එසේම 2008 සිට 2015 දක්වා සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බව කොමිසම දන්වා ඇති බැවින්, මහ බැංකුවේ සියළු ලිපිගොනු සුරක්‍ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා සිදුව ඇත.
මෙහිදී එම කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීම මහබැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඇතුළත් කමිටුවකට පවරා ඇති අතර මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, භාණ්ඩාගාර ලේකම් ආචාර් ආර් එච් එස් සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහත්වරුන් ද සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

