Language Switcher

V2025

බැසිල් - විමල් ගැටුමක් : විමල් පොහොට්ටුවෙන් විසිවෙන ලකුණු !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අතර බරපතල මත ගැටුමක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් මේ වන විට වීරවංශ පාර්ශවයට පොදුජන පෙරමුණේ ස්ථානය අහිමිවීමේ අවධානමක් මතුව ඇති බවත් , වීරවංශ මන්ත්‍රීවරයා සහභාගී වන දේශපාලන සාකච්ඡා පවා බැසිල් රාජපක්ෂ වර්ජනය කරමින් වීරවංශ මන්ත්‍රීවරයාව නොතකා හරින්නට කටයුතු සිදුවෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.

ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බවට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කල ප්‍රකාශයක් හැල්ලුවට ලක්කරමින් විමල් විරවංශ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් පුවතක් පළකර ඇත්තේ ද මේ ගැටුම නිසා බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

''අපේ 40.2% න් ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් – බැසිල් රාජපක්ෂ'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම පුවතේ මෙසේද සඳහන්වේ.

''ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති පළාත්පාලන නියෝජිත හමුවකදී අදහස් දක්වමින් ඉදිරි මැතිවරණය තමාට තනිව ජයග්‍රහණය කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව ඔප්පු කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අප වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ එම ප්‍රකාශය ඉතා නිර්භීත ප්‍රකාශයක් වුවත් 40.2% න් ජනාධිපතිවරණයක් දිනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බවය.

ඔහුට අනුව පළමුවැන්න ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය‍. දෙවැන්න සෙසු පක්ෂ වලින් අපේක්ෂකයින් රාශියක් ඉදිරිපත් කොට ‘ඡන්ද තැබීමට‘ වැඩපිළිවෙළක් හැදීමය.''

මේ සම්බන්ධව බැසිල් රාජපක්ෂ හිතවාදී පිරිස් සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයක් බරපතල ලෙස මෙම පුවත හරහා විකෘති කර ඇති බවය.

එසේම ඒ හරහා බැසිල් රාජපක්ෂගේ දේශපාලන දැනුම අවතක්සේරුවට ලක්කර ඇති බවත් එකම පාර්ශවයේ සිට සිදුකරන මෙවැනි පහත් ක්‍රියා සම්බන්ධව ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔවුන් පවසයි.