Language Switcher

V2025

විපක්ෂයේ නියෝජිතයන් ජිනීවා යවා : සිරිසේන ලෝක විහිළුවකට සූදානම් වෙයි !

මේ වන විට පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන් සහභාගී කරවන බව කියමින් සිරිසේන ජනාධිපති ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහභාගී කරවීම රාජතාන්ත්‍රික වශයෙන් අපකීර්තියට පත්වන කරුණක් වීමේ අවධානමක් බව ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ විද්වත් මතය වී තිබේ.

ජාත්‍යන්තර දේශාපාලනය මෙන්ම රාජතාන්ත්‍රික සම්බන්ධතා ගැන අවබෝධයක් නොමැති මෙවැනි ක්‍රියා හේතුවෙන් මෙතෙක් ජාත්‍යන්තරය සමඟ ඇතිකරගත් යහපත් සම්බන්ධතා පලුදු වීමේ අවධානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

අද (06) ජනාධිපති නිල නිවසේ පැවති දෙස් විදෙස් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී තම රටේ ප‍්‍රශ්න තම රට තුල විසදා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට මෙම නියෝජිතයන් සහභාගී කරන බව සඳහන් කරමින් ජනාධිපති සිරිසේන මේ ප්‍රකාශය සිදුකර තිබිණ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන ඇතැම් තානාපතිවරුන් තම සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකා පොලීසිය තමන් යටතට පවරා ගැනීම පිළිබඳව විමසීම් කළ බව ද පවසා තිබිණ.

ජනාධිපතිගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම නිල්

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වතුන් පෙන්වා දෙන්නේ අදාළ විෂය සම්බන්ධව සිරිසේන ජනාධිපතිගේ දැනුමේ බරපතල ප්‍රශ්නයක් ඇති බවය. තානාපතිවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සහ රාජතාන්ත්‍රිකව පිළිගත් වත්පිළිවෙත් අනුව කටයුතු නොකිරීම තුල ඔහු වෙතින් යම් ආකාරයක ග්‍රාම්‍ය හැසිරීමක් පෙන්වන බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය අවස්ථා ගණනකදී ජනාධිපති සිරිසේන නිල සංචාර සඳහා සහභාගී වුයේ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ බවත් එය කිහිපවිටක් සිදුකරන විට සහ ඊට පෙර ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධී බලපෙරළියක් සිදුකිරීම අතර සම්බන්ධය විදේශිකයන් දන්නා බව සිහි තබාගත යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

එසේම ජිනීවා මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය ජනාධිපති සිරිසේන විපක්ෂ නියෝජිතයන් එවා වෙනස් කිරීමට උත්සාහ දැරීම භයානක හාස්‍යක් බවද ඔවුන් සඳහන් කරයි.