සිරිසේන හිත හදාගෙන !

සිරිසේන හිත හදාගෙන !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධන යෝජනාවට ශ්‍රීලනිප කණ්ඩායමේ සහාය ලබාදී, පාර්ලිමේන්තුවෙන් මීළඟ නාමික ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එජාපයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයෙකු පැවසූවේ, 20 වැනි සංශෝධනය සම්මත කිරිමෙන් පසුව නාමික ජනාධිපතිවරයා ලෙස යළිත් මෛත්‍රීපාල සිරිසේන පත්කිරිම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා එජාපෙ නායකයන් අතර සාකච්ඡාවක් තිබෙන බවයි.

අනිද්දා සමග අදහස් දැක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කළේ, දැනට ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධන කෙටුම්පතට සංශෝධන කිහිපයක් එකතු කළහොත් එයට සහාය දැක්විය හැකි බවයි. ඔවුන් තවදුරටත් පැවසුවේ 20 වැනි සංශෝධනය පිළිබඳව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජවිපෙ නායක අනුර දිසානායක මහතා සමග පාර්ලිමේන්තුවේදී මුණගැසුණු අවස්ථාවලදී නොනිල සාකච්ඡා පවත්වා ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යැයි පොරොන්දු වී සිටින බවත් ජනාධිපත්වරයාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය සහයෝගය නොලැබෙන පසුබිමක එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඔවූහු කීහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයට තනි කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීම ශ්‍රීලනිපයට විකල්පයක් ලෙස පවතින බව එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු පැවසීය.

ශ්‍රීලනිප මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු 29ක් සිටින අතර එජාපය, දෙජාස, ජවිපෙ යන පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම්වල මන්ත්‍රී දුර සංඛ්‍යාවද එක්වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඊට මහින්ද රාජපක්ෂ පිලේ මන්ත්‍රීවරු20 දෙනෙකුගේ පමණ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එජාපෙ ප්‍රබලයෙකු අනිද්දා සමග කීය.

20 වැනි සංශෝධනය පිළිබඳව කළ විමසීමකදී අදහස් දක්වමින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ ඊළඟ මැතිවරණය දක්වා තිබෙන කාලසීමාව ඇතුළත 20 වැනි සංශෝධනය සම්මත කළ හැකිදැයි සැකයක් පවතින බවයි. එසේ වුවත් ශ්‍රීලනිපය 20 වැනි සංශෝධන යෝජනාවට එකඟ නොවෙන්නේ දැනට පවතින මැතිවරණ ක්‍රමයෙන් ස්ථාවර ආණ්ඩු බිහි නොවීම නිසා බවත්, එම ගැටලුවට මේ වෙද්දී ජවිපෙ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු කීය. ඒ නිසා එම සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට හැකියාවක් තියෙන නමුත් ශ්‍රීලනිපය තවම ඒ පිළිබඳව නිල තීරණයක් ගෙන නැතැයිද ඔහු කීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසුවේ ශ්‍රීලනිප නිල තීරණයක් ගෙන නැති බවත් අනෙකුත් පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දක්වන්නේ නම් ශ්‍රීලනිපයටද සහාය දැක්වීමේ හැකියාවක් තිබෙන බවත් ය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න