පවතින බරපතල තත්ත්වය යටතේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරින් පද්ධතිය කඩා වැටීම වළකාලීමට මෙහෙයුම් මැදිරියක සිටිය යුතු නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ උසාවියේ පෙනී සිටීමට යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවැසීය.
විදුලි අර්බුදයට 50% රජය වගකිව යුතු බව ද මහජන උපයෝගීතා කොමිසම ද ඒ හා සමානව වගකිව යුතු බව ද හෙතෙම කියා සිටියේය.
මේ අර්බුදය නිසා රටට සිදුව ඇති පාඩුව බිලියන 45 ක් පමණ වන බව ද සභාපතිවරයා පැවසීය.
විදුලි අර්බුදයෙන් රට මුදවා ගැනීමට කිසිදු පියවරක් නොගන්නා බලධාරින් හදිසි විදුලිය මිලදී ගැනීම් වලින් බොරදියේ මාළු බෑමට බලා සිටින බවත් එවැනි දේ සිදුකර ජනතාව කබලෙන් ලිපට දැමීමට උත්සාහ කළහොත් දෙවරක් නොසිතා වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ද ඔහු පැවසීය.
රටේ විදුලි බල ඉල්ලුම සඳහා විසඳුමක් වන කිසිදු බලාගාරයක් ඉදි නොකිරීමත්, ඉදිකිරීමට සුදානමින් තිබු බලාගාර නවතා දැමීමත් ඉංජිනේරුවන්ගේ සැලසුම් ඉවත දමා ව්‍යාපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමට යාමත් නිසා මේ වනවිට විදුලිබල කේෂ්ත්‍රය දැවැන්ත අර්බුදයකට අද වැටී ඇතැයි ඔහු කීය.
වසරකට මෙගාවොට් 150 ක් 200 ක් අතර ප්‍රමාණයක් අලුතින් ජාතික පද්ධතියට බලාගාර ලෙසින් එකතු විය යුතුව තිබියදී එය කරගැනීමට අපොහොසත්ව විදුලිය කැපීමට හේතුව පෑවිල්ල හෝ නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයක් බව පැවසීම ජනතාව ගොනාට ඇන්දවීමක් බව ද ඔහු කියා සිටියේය.
විදුලි බල පනත අනුව රටට අවශ්‍ය බලාගාර සෑදිය යුතු දීර්ඝකාලින අඩු වියදම් විදුලි ජනන (බලාගාර) සැලැස්ම අනුව බව කී කුමාරවඩු මහතා ලංකා විදුලි බල සැලසුම් ඉංජිනේරුවන් විසින් සකසන මෙම සැලැස්ම 2014 සිටම ඉහළම දේශපාලන පුටුවල සිටින ප්රබයන් විසින් අවුල් කිරීමට හා නවතා දැමීමට කටයුතු කර ඇති බවත් පැවසීය.
2018 දී පවා එම සැලසුම මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කරනු ලැබුයේ තම සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමෙන් පසුව බව ද ඔහු සඳහන් කළේය.
බලගාර සැළසුම් හැදීමේ දී හා අනුමත කිරීමේ දී පසුගිය වසර කිහිපය තූල එම කොමිසම ක්රීයාකර ඇති ආකාරය නීති විරෝධී බව ද ඔවුන් අදාල පනත් උල්ලංඝණය කර ඇති බව ද නීතිපතිවරයා විසින් ඉකුත් වසරේ තහවුරු කළ බව ද අවසානයේ කොමිසම දූෂිත අධ්යක්ෂ ජනරාල්වරයා ඉවත් කළ නමුත් මේ වනවිට කොමිසම යළි ඔහු පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.
අලුත් අවුරුද්දට පෙර විදුලි අර්බුදය විසදනවා - රවී
මේ අතර පවතින විදුලි අර්බුදය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් ඒ සඳහා සහාය දක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රවී කරුණානායක මහතා මෙම අදහස් පළකලේ, මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ නව පාසැල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (03) එක්වෙමිනි.
මෙරට විදුලි පද්ධතියට 2010 වසරේ සිට මෙගාවෝට් එකක්වත් ජනනය කිරීමේ ක්‍රියාදාමයට එක්වී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා නිසි වෙලාවට තීන්දු තීරණ ගනිමින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් මගින් ඒ සඳහා අවශ්‍ය විසදුම් ලබා දෙන බවත් සඳහන් කළේය.

