Language Switcher

V2025

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශ ප්‍රධානියා මැතිවරණ නීති කඩමින් සේවක දඩයමක

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ප්‍රධානියා සිය අසාර්ථක ව්‍යාපෘති වසං කිරීම වෙනුවෙන් දැඩි සේවක මර්දනයක නිරතව සිටින බව වාර්තා වෙයි.

මේ පිළිබඳ වාර්තා කරන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඉංජිනේරු අංශයේ ප්‍රධානියා විසින් දියත් කළ ඉතා අසාර්ථක ව්‍යාපෘති හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බරපතල පාඩු සිදුවී ඇති අතර එය වසං කිරීමේ අපේක්ෂාවෙන් ඔහු ආයතනයේ කළමණාකාර ශ්‍රේණිවල නිලධාරීන් ස්ථාන මාරුවීම් ලබාදීම ආරම්භ කොට ඇත.

මැතිවරණ සමයකදී මේ ආකාරයට සේවක ස්ථාන මාරුවීම් ලබාදීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් වන නමුත් ඉංජිනේරු අංශයේ ප්‍රධානියා මේ කටයුත්ත නිදහසේ සිදුකරන්නේ ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරීගේ ආශිර්වාදය යටතේ බවද දැනගන්නට ඇත.

එසේම මේ අසාධාරණ ස්ථාන මාරුවීම් හේතුවෙන් සේවකයින් බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බවද වාර්තා වෙයි.

සිය වැඩබැරි කම වසා ගැනීම වෙනුවෙන් පහල සේවකයින් වෙත ස්ථාන මාරුවීම් ලබාදෙන මේ නිලධාරියාගේ මෑතකදී සිදුකළ අතිශය අසාර්ථක ව්‍යාපෘති රැසක් පිළිබඳවද වාර්තා වී ඇත.

ඒ අතර පකිස්ථාන එයාර්බස් ගණුදෙනුව ඉහළින්ම ඇති බවත් එහිදී ශ්‍රීලංකාවට අලුතින්ම ගෙන්වන ලද එයාර්බස් 330-300 ගුවන්යානයක් පකිස්ථාන ගුවන්සේවයට ලබාදී එහි අවසාන වාරික පකිස්ථානය විසින් ගෙවීම පැහැරහැරීමෙන් ආයතනයට රුපියල් කෝටි 75ක් පාඩු වූ සිදුවීම ප්‍රධාන බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එසේම EASA තත්ව සහතිය අහිමිකර ගැනීමෙන් එය නැවත ලබාගැනීමට මේ දක්වා දරන ලද වියදම රුපියල් මිලියන 400 ඉක්මවා ඇති බවත් තවද පැය 8ක සේවා මුරයක් හඳුන්වාදීමෙන් සේවකයින් අතර දැඩි අප්‍රසාදයට ලක්වීම සහ එමගින් ගුවන්යානා නඩත්තු කටයුතු ප්‍රමාදවීමක් සිදුව ඇති බවද වාර්තා වේ.

මීට අමතරව අවුරුදු 18ක් පමණ පැරණි යානා 03ක කල්බදු දීර්ඝ කිරීමෙන් කෝටි 150 කට අධික පාඩුවක් සිදුවීම, 4R-ALD ගුවන්යානය මාස 3කට වැඩි කාලයක් යාත්‍රාංගනය තුළ රඳවා ගත්තද එහි පැරණි බව නිසා නඩත්තුව පසුවීමෙන් දිනකට ඇ.ඩොලර් 35000ක් පමණ වැයවීම. ගුවන්යානා නඩත්තු ප්‍රමාදයෙන් බිලියන ගණන් පාඩු සිදුවීම, නඩත්තු ප්‍රමාදය හේතුවෙන් ගමන් වලින් ගමන්වලට ගුවන්යානා මාරු කිරීමට සිදුවීම සහ එයාර්බස් 320 වෙනුවට එයාර්බස් 330 ගුවන්යානා ගමනාන්ත කරා යෙදවීමෙන් ආසන්න ලෙස දිනකට ඇමරිකානු ඩොලර් 45,000ක පමණ අලාභයක් සිදුකිරීම යන කරනා සඳහාද මෙම නිලධාරියා වගකිව යුතුව ඇති බවද වාර්තා වෙයි.

එසේම අලුතින් ගෙන්වන ලද එයාර්බස් 320 නියෝ ගුවන්යානා වල එන්ජින් නැවත අලුත්වැඩියා කිරීමට සිදුවීම නිසා ආයතනයට කෝටි 60ක පමණ පාඩුවක් සිදුවීම, වාර්ෂික කල්ඉකුත්වූ අමතර කොටස් මිලට ගැනීමෙන් කෝටි 05ක පමණ පාඩුවක් සිදුකිරීම, අධික මිලගණන් වලට ගුවන්යානා අමතර කොටස් මිලදීගැනීම හා එම මිලදී ගැනීම් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සිදුකිරීමෙන් ආයතනයට දිනකට මිලියන 03ක් පමණ පාඩු විඳීමට සිදුකිරීම, මේ දක්වා රුපියල් 250/-කට ශ්‍රීලංකාවේදී නිමකරන ලද සීට් කවර වෙනුවට යුරෝපයෙන් රුපියල් 4,200/-කට කවර මිලදී ගැනීම, වීදේශ රටවල (ඉන්දුනීසියාව/ ඩුබායි/ සිංගප්පූරුව) කරන ලද ගුවන්යානා නඩත්තු කටයුතු ක්‍රමවත් ඩෙන්ටඩර් පටිපාටියෙන් බැහැරව සිදුකිරීම, එක් යානයක් නඩත්තු (C-CHK)කටයුතු සඳහා කිරීමට ඇමරිකානු ඩොලර් 95,000/-ක් පමණ වැයකර ආයතනයට පාඩු සිදුකිරීම ඇතුළු තවත් අකටයුතුකම් සහ දුෂිත ක්‍රියා රැසකට මෙම ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වගකිව යුතු බවද ඉහත ආරංචිමාර්ග අවධාරණය කර සිටියි.