Language Switcher

V2025

ජනාධිපති, පාර්ලිමේන්තු ගෝරියේ රහස හෙළි කරයි (වීඩියෝ)

කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් දුවන ආකාරයෙන් පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය ඊයේ පාර්ලිමේන්තුව තුල දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

ඊයේ (10) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැඹ තුල සිදුවූ ගුටි කෙළිය ගැන අදහස් පල කරමින් ජනාධිපතිවරයා එබව සඳහන් කළේ, අනුරාධපුර සල්ගාදු පිටියේ ඊයේ පස්වරුවේ පැවති ශ්‍රීලනිප හා සන්ධානයේ පලමු ප්‍රචාරක රැළිය දී අමතමිනි.

 මේ අතර 'කැෆේ' සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ගැටුමක් ඇති කර ගැනීමේ මුලික අපේක්ෂාව සහිතව ‘ගුටි බැට හුවමාරුවක් ඇති කර ගත් පළමු අවස්ථාව ලෙස‘ ඊයේ පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව ඉතිහාසයට එක්වනු ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයෙකු විසින් ඒ සදහා පූර්ණ අනුග්‍රාහාත්මක ප්‍රවේශයක් දැරූ පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක් වනු ඇති බව ඔහු කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේ, සහ ලොබියේ දී ඇති වූ ගුටි බැට හුවමාරු පිළිබද කෙටි ඉතිහාසය ඔහු මෙසේ සැකෙවින් විග්‍රහ කර තිබේ.

ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය:

1. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතා ට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දී සිදු කළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටි බැට හුවමාරුවයි.

2. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.අස්.තේමිස් සර් ජොන් කොතලාව ට ‘හලෝ ජෝන්‘ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ “මමත් ජොන් ට කථා කරන්නේ සර් ජොන් කියාල යි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉදීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් මහතා ඉතා මෑතක දී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි)

3. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක සහ මෛත්‍රීපාල සේනානායක මහතා ට පහරදීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක මහතා කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියා ය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඩ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න මහතා වැනි කිහිප දෙනෙකු සිද්ධිය වළවක්වා ගෙන ඇත.

4. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී ටී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්ණයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත් මහතාට සැගවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.

5. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාස මහතාට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි විසින් සිදු කළ පහරදීක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙය යි.

6. වාසුදේව නානායක්කාර මහතා ට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ දී පහරදෙනු ලැබූවේ වාසුදේව සොන්කෝලය ඔසවාගෙන යාමට උත්සහ දැරීමේ දී ය. 1992-1993 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

7. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබූවේ ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.

8. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 4 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි බැට හුවමාරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාව යි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found