ඉරිදා ලංකාදීප පුවත වැරැදියි : මහා භාණ්ඩාගාරය කරුණු දක්වයි !

ඉරිදා ලංකාදීප පුවත වැරැදියි : මහා භාණ්ඩාගාරය කරුණු දක්වයි !

ඉරිදා ලංකාදීප මාර්තු 31 කලාපයේ "භාණ්ඩාගාරයෙන් කෝටි දහදාහක පොල්ලක් - මාස හතරක බිල් හිරවෙලා" ශීර්ෂය යටතේ පළවූ, විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් අමාත්‍යාංශ හා ආයතන කිහිපයකට ගෙවිය යුතුව ඇති රු. කෝටි දහදාහකට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් ගෙවා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි යනුවෙන් පළකරන ලද ප්‍රධාන ප්‍රවෘත්තිය පිළිබඳව මහා භාණ්ඩාගාරයේ අවධානය යොමුව තිබේ.

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද කොන්ත්‍රාත් ඉදිකිරීම් හා ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පිළිබඳ ඉල්ලීම් සෑම වසරකම දෙසැම්බර් මස වනවිට ලැබූවිට එම මුදල් එළඹෙන වසරේ මුල් මාස තුන - හතර ඇතුළත ගෙවීම් කිරීම 2015 වසරේ සිට අඛණ්ඩව සිදුවෙමින් පවතී.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත 2018 වසර අවසන් වන විට රුපියල් මිලියන 15036ක හිග මුදලක් ගෙවීමට තිබූ අතර අද වන විට එම මුදලින් රුපියල් මිලියන 11,831ක් ගෙවා තිබේ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගෙවීමට තිබූ රුපියල් මිලියන 11,055ක මුදලෙන් මේ වන විට රුපියල් මිලියන 5639ක මුදලක් ගෙවා අවසන් ය.

2011 වසරේ සිට 2014 අවසානය දක්වා විවිධ අමාත්‍යාංශ සහ ආයතනවල භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය වෙනුවෙන් හිඟ කොන්ත්‍රාත් ගෙවීම් නිරවුල් කිරීමට ඇති බවට වාර්තා වූ හෙයින් 2015 දී බලයට පත් වූ රජය විසින් ඒ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස හිටපු ලේකම්වරයෙක් වූ ලලිත් ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.

ඒ අනුව, 2014 දෙසැම්බර් 31 දක්වා රු. බිලියන 139 ක බිල්පත් රජයේ ආයතන වලින් ගෙවා නොමැති බවට ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර තිබුණි. ප්‍රසම්පාදනය කරන ලද ඉදිකිරීම් කොන්ත්‍රාත්ද සැපයුම් හා සේවා සඳහා ගෙවා නොතිබිණි. මෙහි ඇතැම් වියදම් එකල රජය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර සිදුකර ඇති බව නිරීක්ෂණය වූ හෙයින් ඇතැම් ඉල්ලීම් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ආයතන විසින්ම ඉල්ලා අස්කරගෙන තිබිණි. එපමණක් නොව, රාජ්‍ය ආයතනයන්හි සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් හා පාරිතෝෂික දීමනා වෙනුවෙන් පවා 2014.12.31 දක්වා ගෙවා නොමැති බවට වාර්තා විය. ඒ අනුව, රාජ්‍ය ආයතනයන්හි සේවකයන් වෙනුවෙන් 2014 දෙසැම්බර් 31 දක්වා ගෙවිය යුතුව තිබූ රු. බිලියන 17 ක සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් සඳහා වන එම හිඟ මුදල් ගෙවීම් කරනු ලැබුවේද 2015 න් පසුව බලයට පත්වූ රජය විසින්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් කෝටි 900ක මුදලක් ගෙවිය යුතු යැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබිණි. 2008 වසරේ සිට එම අමාත්‍යාංශය වෙත වෙන්කරන ලද ප්‍රතිපාදනවලට අමතර වියදම් දරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ හා සේවාවන් ප්‍රසම්පාදනය වෙනුවෙන් මෙම අධික පිරිවැය දරා තිබීම මෙයට හේතුව වේ. මේ පිළිබඳව 2015 දී පත්කරන ලද කමිටුව වෙත එකී තොරතුරු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම මුදල් ගෙවීම මේ වන තෙක් ප්‍රමාදවී ඇත. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බැවින් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඒ පිළිබඳ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත් 2015 වසරෙන් පසුව රාජ්‍ය ආයතන විසින් කර ඇති වියදම් සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් නියමිත පරිදි ගෙවීම් සිදුකරමින් පවතියි. සෑම වසරකම දෙසැම්බර් මස 31 වැනි දා දක්වා ලැබෙන ඉල්ලීම් එළඹෙන වසරේ ප්‍රථම මාස තුන හතරක් ඇතුළත ගෙවීම් සිදු කර ඇත. මෙය 2019 වසර දක්වා අඛණ්ඩව සිදු කරන ලදී.

එහෙත් 2018 ඔක්තෝබර් මාසයේ, පැවැති රජය ඉවත් කර වෙනත් රජයක් පිහිටුවීමේ පසුබිම තුළ රාජ්‍ය ආදායම් වියදම් කළමනාකරණයේ දී ඇති වූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් 2018 වසරේ අවසානය දක්වා කරනු ලැබූ වියදම් වෙනුවෙන් ගෙවීම් කිරීමේ දී ප්‍රමාදයක් ඇති විය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් කටයුතු සම්පාදනය කරමින් තිබෙන බැවින් මෙම වසරේ සිට රජයේ සියලු ප්‍රසම්පාදන කටයුතු සඳහා සියලු ගෙවීම් අදාළ ව්‍යාපෘතිය නිමවීමත් සමග ගෙවීමට හැකි වනු ඇත.

කරුණු මෙසේ හෙයින් ඔබගේ මුල් ප්‍රවෘත්තිය හා සමාන අවස්ථාව ලබාදී මෙම ප්‍රවෘත්තියද පළකරන ලෙස කාරුණිකව ඉල්ලමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න