රෝයල් ඉන්ස්ටිටියුට් නම් ජාත්‍යන්තර පාසලේ පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් එහි ඉගෙනුම ලබන දරුවන් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වන බවට එම පාසලේ දරුවන්ගේ මාපියෝ චෝදනා කරමින් සිටින්නේ මීට කලකට පෙර සිටය.
එය උච්චතම අවස්ථාවකට දැන් පැමිණ ඇති බව පෙනෙනුයේ පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දොළොස් හැවිරිදි සිසුවකු පෙබරවාරි 26 වන දින හදිසියේ පාසලෙන් ඉවත්කර දැමීමත් සමගය.
පෙබරවාරි 27 වැනි දිනට පාසලේ විනෝද චාරිකාව යෙදී තිබුණෙන් සිසුවා ඒ සඳහා ගෙවිය යුතු වූ රු. 3700ද ගෙවා තිබුණත් 26 වැනි දින එම මුදල ද නැවත ඔහු අත තබන පාසලේ පාලකයින් ඔහුට කියා තිබුණේ එම චාරිකාවට ඔහුට සහභාගිවීමට නොහැකි බවය.
එදින ඔහු පංති කාමරයෙන් ඉවත් කර පාසලේ කාර්යාලය තුළ තැබීමට ද ඔවුන් ක්‍රියා කළ බවට එම දරුවා පවසා තිබුණි. 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා පෙබරවාරි 26 වැනි දින සිට පාසලෙන් ඉවත් කළ බවට 2019 පෙබරවාරි 25 දිනැතිව ලියාපදිංචි තැපෑලෙන් සිසුවාගේ නිවසට ලිපියක් යොමු කිරීමට පාසලේ පාලකයින් කටයුතු කර තිබුණත් ඒ වන විට එම ලිපිය නොලැබුණු බැවින් කිසිවක් නොදත් දරුවා ද පාසල් ගිය පසු ඔහුට මෙම සිදුවීමට මුහුණදීමට සිදුවූ බව දරුවාගේ මාපියෝ පවසති.
දොළොස් හැවිරිදි දරුවකුගේ අධ්‍යාපනයට පමණක් නොව යහපත් මානසික තත්ත්වයට ද හානි පමුණුවමින් මෙවැනි ක්‍රියාවන්හි නිරතවීමට රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ පාලකයින් කටයුතු කරන්නේ මාපියන්ද පවසන පරිදි පාසල් ගාස්තු ගෙවීම ප්‍රමාදවීමක් වැනි හේතුවක් නිසා පමණක් නොවන බව පැහැදිලිය.
රාවය , 2019. 4.7

