Language Switcher

V2025

විගණන අක්‍රමිකතා චෝදනා රැසක් ඇති චූලා වික්‍රමරත්න : විගණකාධිපති කිරීමේ සූදානමක් !

විගණකාධිපති ගාමිණී විජේසිංහ ගේ නිල කාලය මේ මස 9 (අප්‍රේල්) 24 වැනිදා නිමාවට පත් වන අතර, ඒ සමඟ පුරප්පාඩු වන ධුරය සඳහා අතිරේක විගණකාධිපති චූලා වික්‍රමරත්න පත් කිරීමට කටයුතු යොදන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය විසින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

වසර 30කට අධික කාලයක් විගණන අත්දැකීම් ඇති ඔහු තවත් වසර 6කට අධික කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටිය හැකි අයකු බවද එම සංගමය පෙන්වා දී තිබේ.

එසේම මේ සඳහා ජනාධිපති සිරිසේන විසින් චූලා වික්‍රමරත්න යෝජනා කරනු ඇති බවටද පුවත් වාර්තා පළවෙමින් තිබේ.

එහෙත් ඊට පෙර අවධානය යොමුකළ යුතු කරුණක් ඇත. ඒ මීට පෙර අතිරේක විගණකාධිපති චූලා වික්‍රමරත්න ලබා ඇති චෝදනාය.

රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මූල්‍ය වංචාවලට අදාළ විගණන ලිපි ගොනු අතුරුදන් වීම නිසා ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අඩපණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා චෝදනා කර සිටියේ මේ චූලා වික්‍රමරත්න වෙතය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ රාඩා ආයතනයේ රුපියල් මිලියන 169 මූල්‍ය වංචාව ඇතුළුව බරපතළ මූල්‍ය වංචා සම්බන්ධව සිදු කරන විමර්ශන සඳහා විගණන ලිපි ගොනු පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විමසන විට ඒවා අතුරුදන් වී ඇති බවට දැනුම් දී ඇති බවය.

ඒ සමයේ මේ සම්බන්ධව අප සිදු කළ විමසුමක දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ද එම චෝදනාව පිළිගත් අතර ඒ පිළිබඳ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවද ඔහු පැවසීය.

මේ අතර විගණන ලිපි ගොනු විශාල ප‍්‍රමාණයක් අතුරුදන්ව තිබෙනුයේ චූලා වික‍්‍රමරත්න වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කළ (2014 නොවැම්බර් - 2015 නොවැම්බර්) සමයේ බවත් ඒ නිසා රාඩා ආයතනයේ විගණන වාර්තාව ඇතුළුව අතුරුදන් වූ වැදගත් විගණන වාර්තා පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා චූලා වික‍්‍රමරත්න කැඳවිය යුතු බව ද එහිදී සඳහන් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාඩා ආයතනයේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන විට ඊට අදාළ විගණනයේ වාර්තාව එවකට වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කළ චූලා වික‍්‍රමරත්නගෙන් විමසා ඇති අතර එහි දී එවැනි විගණනයක් සිදුකර නොමැති බව ඔහු දැනුම් දී ඇතැයි ද එහෙත් තම ආයතනය රාඩා මූල්‍ය වංචාව පිළිබඳ විගණනයක් සිදු කළ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව විගණන දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එවැනි වගකීම් විරහිත ප‍්‍රකාශයක් සිදු කිරීමට තරම් හැකියාවක් වැඩ බැලූ විගණකාධිපතිට තිබුණා නම් විගණන ලිපිගොනු අතුරුදන් වීම සම්බන්ධව ඔහුගේ සම්බන්ධයක් ඇති බවට සැක සිතීම ද සාධාරණ බවය.

එසේම චූලා වික‍්‍රමරත්න වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන සමයේ දී විගණන වාර්තා අතුරුදන් වීම සම්බන්ධව විමසන අවස්ථාවල දී දෙපාර්තමේන්තුව නව පරිශ‍්‍රය වෙත ගෙන ඒමේ දී ඒවා නැති වී ඇති බවට ප‍්‍රකාශ කර ඇති බවත් නමුත් රාජ්‍ය ලිපි ලේඛන වසර 20 යනතුරු සංරක්ෂිතව පවත්වා ගැනීම අනිවාර්යයක්ව ඇති පසුබිමේ ලිපිගොනුවල වගකීමෙන් බැහැර වීමට රාජ්‍ය සේවකයකුට නොහැකි බවද මෙහිදී සිහිපත් කල යුතුව ඇත.

මේ අතර චූලා වික‍්‍රමරත්න විගණන නිලධාරියකුව සිටින සමයේ දී විගණන ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ද වාර්තා වෙයි.

විශේෂයෙන්ම ඔහු විගණන නිලධාරියකුව සිටිය දී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ 1996 වර්ෂයේ සිට 2006 දක්‌වා කාලයේ දී සිදු වූ රුපියල් කෝටි 24 ක මූල්‍ය වංචාවක්‌ අනාවරණය නොකර සිටීම සම්බන්ධව චෝදනා ලබා ඇත. ඒ ගැන පරීක්ෂණයක් සිදු වන විට ඔහු විදේශගත වී ඇති අතර එහි දී ඔහු සේවය අත්හැර ගිය අයකු ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සලකා පරීක්ෂණ අවසන් කර ඇත.

නැවත චූලා වික‍්‍රමරත්න එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේ දී වන අතර ඒ විගණන අධිකාරිවරයෙක් ලෙස උසස් වීමක් ද ලබා ගනිමින්ය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ද ඔහු විගණකාධිපති වීම සඳහා ඉල්ලීමක් කර ඇති නමුත් ව්‍යවස්ථාදායක සභාව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබිණ.

එසේම මේ පහත දැක්වෙන්නේ චූලා වික්‍රමරත්න සම්බන්ධව ලංකා නිව්ස් වෙබ් විසින්ද එකළ සිදුකල අනාවරණයකි.

චූලා-ප‍්‍රියම්බලී ගල් අඟුරු විගණනේ මඟ හරිති