කන්තලේ වැවේ දිය නාමින් සිටි පිරිසකට පහරදී එහි සිටි කාන්තාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන ආකාරයට අලුත් අවුරුදු දින පස්වරු 6.30 ට පමණ කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසකට බීමත්ව පැමිණ වීදුරු බෝතල්වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම හා කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
දිය නාමින් සිටි පිරිස කන්තලේ පොලීසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ ඥාතීන් බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම පහරදීම දැනගත් විගස එම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ද එම ස්ථානයට ගොස් ඇති අතර ඔවුන්ට ද එම පිරිස පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිශ්ශංක ජයලත් කෝදාගොඩ නැමැති 42 හැවිරිදි කන්තලේ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයෙකි.
අනෙක් සැකකරු කන්තලේ ධීවරගම පාරේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවද පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් පිරිසක් මෙම පහරදීමට පැමිණ ඇති බවයි. කෙසේ වුවත් ඊයේ (15) මෙම පිරිසට ඇප ලබාදී ඇත.

