අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවන්න : ඕස්ට්‍රේලියාවේ සහය හිමිවේ !

අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවන්න : ඕස්ට්‍රේලියාවේ සහය හිමිවේ !

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට ඕස්ට්‍රේලියාව සිය කැමැත්ත පලකර තිබේ. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් Victoria Coakley , අමාත්‍යවරයාට මේ පිළිබදව කරුණු ඉදිරිපත් කර ඇත.

දෛනිකව ඉහල යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට මේ වනවිට ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය යොමුවෙමින් පවතී. එම වැඩපිළිවෙලේ තවත් එක් වැදගත් සංදිස්ථානයක් වශයෙන් මෙම අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමවේදය හදුන්වාදිය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මෙන්ම මිල අවම විදුලි උත්පාදන ක්‍රමය ජල විදුලි උත්පාදනය බවත්, මේ වනවිට දිවයිනේ පවතින්නාවු ජල මූලාශ්‍රයන්ගෙන් විදුලිය උත්පාදනය කළහැකි මට්ටමේ පවතින සියල්ල ඒ සදහා යොදාගෙන ඇති අතර දෛනිකව වර්ධනය වන්නාවු විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස අපගෙ විදුලි බල ක්ෂේත්‍රය, මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මේ වනවිට යොමුවී ඇතැයි පැවසූ අමාත්‍ය කරුණානායක, මේ ආකාරයෙන් ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම තුළින් රටේ විදුලිබල ගැටළුවට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවටද සතුටුදායක විසදුම් ලබාගත හැකි බව ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස්තුමියට පැවසීය.

ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව මේ වනවිට විදුලිබල සැපයුම අතරින් වඩාත් ප්‍රශස්ත මට්ටමක සිටින බවත්, ලංකාව විසින් විදුලි උත්පාදනය සදහා මේ වනවිට යොදාගනු ලබන මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් පරිසර හානිය අවම වන අතර මිල අවම වීම මත පාරිභෝගිකයාටද එය සහනයක් වන බවත් පැවසූ මහ කොමසාරිස්වරිය, සිය රටේ තාක්ෂණික ඥාණය උපයෝගි කරගනිමින් ඉවත ලන ද්‍රව්‍ය තුළින් විදුලිය නිපවීම ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමෙන්, ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට, විදුලි පාරිභෝගිකයාට මෙන්ම සමස්ත රට වැසියාටම එය කිහිප ආකාරයකින් සහනයක් වියහැකි බවත් පැවසීය.

දිනෙන් දින වර්ධනය වන ජනගහනය හමුවේ අපද්‍රව්‍ය ගැටලුවද ඉතාමත් උග්‍ර තත්ත්වයකට පත්වන අතර එම ප්‍රශ්නය මෙවැනි වැඩදායි මෙන්ම ලාභදායි මාර්ගයක් ඔස්සේ නිරාකරණය කරගැනීමට ලැබීම මහත් භාග්‍යයක් යැයි පැවසූ විෂයභාර අමාත්‍ය රවි කරුණානායක මහතා, ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය නිපදවම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් රජයේ මෙන්ම විදුලි ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන් දැනුවත් කර, ඉදිරි වැඩකටයුතු දියත් කිරීමට තමා කැපවී කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහයෝගය තමා අපේක්ෂා කරන බවත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න