Language Switcher

V2025

තරුණයින් 11 දෙනකු ඝාතන නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජන!

ත්‍රිකුණාමලය ගන්සයිඩ් නාවික හමුදා කදවුරේ තරුණයින් එකොළොස් දෙනකු ඝාතනයට ලක් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂිකරුවන් මරණීය තර්ජනයට ලක්ව ඇති බවත්, අදාළ විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධෛර්යට පත් වන දේ නොකළ යුතු බවත් සඳහන් කරමින් එම නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවකු වන හිටපු ලුතිනන් කොමදෝරු ක්‍රිශාන් වෙලගෙදර විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් අනුව 2009 වර්ෂයේදී පරීක්ෂණ ආරම්භ කළ අංක B 732/22009 නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවකු වූ ක්‍රිශාන් වෙලගෙදර 2012 වර්ෂයේ සිට කීප වතාවක් ලබා දුන් ප්‍රකාශ එවකට නාවික බුද්ධි කොමදෝරු ඒ. කේ. ගුරුගේ විසින්ද සනාථ කරනු ලැබ තිබිණි.

ජිවිත තර්ජන :

ක්‍රිශාන් වෙලගෙදර පසුගිය ජනවාරි 03වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා උඩගම වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ නාවික හමුදාවේ 70කට අධික පිරිසක් විසින් ඉහත කී නඩුවට අදාළ සිද්ධිය සත්‍ය බව තහවුරු කරනු ලැබුවද නීතිඥ උදය ගම්මන්පිල හා නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රසිද්ධියේ විවිධ ප්‍රකාශ කරමින් සිය ජීවිතයට තර්ජනය වන ආකාරයෙන් හැසිරෙන බව ය.

නීතිඥ අජිත් ප්‍රසන්න විසින් සමාජ වෙබ් අඩවි හරහා තමන්ට තර්ජන හා බලපෑම් කළ බවත් අජිත් ප්‍රසන්න හා උදය ගම්මන්පිල දෙදෙනා සිය පවුලේ සාමාජිකයින්ගේ ජීවිතද අවදානමට පත් කිරීමට සංවිධානාත්මකව පියවර ගන්නා බවත් ක්‍රිශාන් වෙලගෙදර සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

සමූහ මිනීමැරුම් නඩුවක් වන මෙම නඩුවට අදාළව අජිත් ප්‍රසන්න හා උදය ගම්මන්පිල පුද්ගලයින්ගේ මෙවන් හැසිරීම් ශ්‍රී ලංකාවේ 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත (Assistant to and Protection of Victims of Crime and Witnesses Act No. 04 of 2015) යටතේ සාපරාධී වරදක් වේ.

කරන්නාගොඩට කිසිදු චෝදනාවක් නැහැ !

තමන්ට බලපෑම් කරන මෙම පුද්ගලයින් - නඩුවේ මුල් පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩට කිසිදු චෝදනාවක් එල්ල නොකරන බවද සිය ලිපියෙන් පෙන්වා දෙන ක්‍රිශාන් වෙලගෙදර වැඩිදුරටත් සිය ලිපියෙන් ඉල්ලන්නේ ප්‍රධානකොට සිංහල ජනතාව තුළ වෛරී ආකල්ප ඇති වන ආකාරයේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ලංකා නීතිය තුළ තමන්ට ලබා දිය හැකි නීතිමය රැකවරණ ලබා දෙන ලෙසය.

මේ වන විට සිය දරුපවුල සමග කුසලතා සංක්‍රමණ (Skill Migration) යන වීසා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ක්‍රිශාන් වෙලගෙදරගේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාවේ කොමසාරිස්වරයෙකු පැවසුවේ සිය කොමිසම ක්‍රිශාන් වෙලගෙදරගේ ලිපිය ලද බවත් කොමිසමේ සභාපතිනිය සහ අනෙකුත් කොමසාරිස්වරු සමඟ සාකච්ජා කර ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

(resa.lk)