Language Switcher

V2025

'කතුන්ට මත්පැන් මිලට ගන්න අවසරය දෙන්න බැහැ' - හිමිවරුන් කිහිපනමක් සටනට

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ විකිණිමට තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් අදහස් පළකළ යුතු බව 'සිංහලේ ජාතික පෙරමුණ' පවසයි.

එම පෙරමුණේ හිමිවරුන් අද(12) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේබව ප්‍රකාශ කළහ.

මත්පැන් දුලබ කරනවා යනුවෙන් පවසා අද වන විට ආණ්ඩුව එය සුලබ කර ඇති බව ද පැවසු මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කාන්තාවන් මත්පැන් සඳහා ඇබ්බැහි වුවහොත් මුළු මහත් ජාතියකට අබ සරණයි යනුවෙන් ද පැවසීය.

මේ අතර මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හිටපු නායක, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද විරෝධතාව පළකර සිටිති.

මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ.

 සුද්දා දාපු නීති රීති :

 මේ අතර 'හෙළ බොදු සවිය' නමැති සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්, ''ඇමති මංගලගේ අවමංගල නීති සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන රටේත් ජාතියේත් අනාගත පරපුරෙත් හෙට දවස ගැන සිහිනුවණින් සිතා සාදාචාර සමාජයක් උදෙසා කටයුතු කරන්නැයි'' ඉල්ලා සිටිති.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

“මතින් තොර සමාජයකට යටත් විජිත සමයේ ද පැවති නීති රීති සුරාබදු පනතේ 116 පිටුවේ12 වගන්තිය අනුව මත්ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු පිරිස් හඳුන්වාදී මෙන් පැහැදිලිය. යුද හමුදා අණදෙන නිලධාරින්ට, නාවික හමුදාවේ ප්‍රධාන නිලධාරින්ට, ගුවන් හමුදාවේ අණදෙන නිලධාරින්ට, විදේශිය සුදු නිලධාරින්ට මෙන්ම අවුරුදු 18 අඩු පිරිමින් හා මොනයම් හෝ ස්ත්‍රින්ට මෙය තහනම් කර තිබිණි.

තැබැරුම්-විවෘත කරන හා වසා තබන වේලාවල් වෙනස් කිරීම හා කාන්තාවන් සඳහා මත්ද්‍රව්‍ය ලබාදීම හා එම ස්ථාන වල කාන්තාවන්ට සේවය කිරීමට අවස්ථාව සලසා දීමට වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා නියෝග නිකුත් කිරීම යහපාලන ආණ්ඩුවේ ස්ථාවරයට අභියෝග කිරීමකි.

මාතෘත්වයට විශාල තර්ජනයක් :

කාන්තාවන්ට මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රවර්ධනය කිරීමට සැළැස්වීම පවුල් ඒකකයට, මාතෘත්වයට විශාල තර්ජනයකි.

කාන්තා හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඩ නඟන යුගයක මෙලෙස කාන්තාවන්ව විනාශයට තල්ලු කිරීම සමස්ත රටම විනාශයට ගෙනයන්නකි. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජිවිතයක් සමස්ත රටේම අභිවෘද්ධියට බලපාන්නකි.

එසේම එදා මෙදා තුර අයවැයකින් සිදුකරන්නේ රටේ අදායම වැඩි කරගැනීමට මත්ද්‍රව්‍ය අලෙවියෙන් බදු වැඩි කිරීමය. එහෙත් මෙම යහපාලන අණ්ඩුව සිදු කරන්නේ මත්ද්‍රව්‍ය වල බදු අඩුකර නිතීරිති අඩු කර රටතුළ සදාචාරය විරෝධී සමාජයක් සඳහා උඩගෙඩි දෙන අණපනත් ඇති කිරිම බව අපගේ හැගිමයි.''

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක්:

සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට පනවා තිබු වාරණය අහෝසිවිය.

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා (ජනවාරි 10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ.

 සමාජ ජාල තුලින් පුළුල් ප්‍රතිචාරක් :

කෙසේ නමුත් අදාළ නීතිය තදින් ක්‍රියාත්මක නොවුණු අතර එම තහනම ඉවත් කිරීම පිළිබඳ සමාජ ජාල තුළ මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

"නීතියේ වරදක් නැත. මත්පැන් පානයට ගැහැණු පිරිමි අදාලත්වයක් නැහැ. බොන අයට බොන්න පුළුවන් අකමැති අයට නොබි ඉන්න පුළුවන්" යනුවෙන් ප්‍රවීන් ශර්මා ෆේස්බුක් සමාජ ජලයේ අදහස් දක්වා තිබිණි.

 99537891 1181b05c e8a8 4715 87b6 1b83f236f114

 

ලලිත් ද සොයිසා ජයවර්ධන සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබුණේ තැඹිලි, කැරට් ආදියෙන් කාන්තාවන් නිවසේදීම වයින් නිෂ්පාදනය කරන බවය.

 99537893 72738245 612c 4a1d 90a5 f21c76e2d62d

 තවත් සමහරෙක් පවසා තිබුණේ අදාළ තහනම ඉවත් කිරීම තුළින් කාන්තාවන් වැඩි වශයෙන් මත්පැන් භාවිතයට හුරු විය හැකි බවය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පුරුෂයන්ට වඩා කාන්තාවන් මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2016 වසරේ දී පැවසීය.