Language Switcher

V2025

පාසල් ආරක්ෂා කරන්න : විශේෂ වැඩපිළිවෙලක් !

පාසල් හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් භූමි හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වනවිටත් දැනුවත් කර ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ පාසල් වාරය ආරම්භයට පෙර සියලුම පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශයන් විශේෂ සෝදිසියකට ලක් කොට ආරක්ෂාව තහවුරු කරනලෙසයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ විසින් ද පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගෙන් ද ලිඛිත ඉල්ලීම් සිදු කර ඇත.

එමෙන්ම පාසල් භුමිය හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇත.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ පාසල් ආරම්භ වීමෙන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා විසින් අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.