අගමැති මඩකළපුවේ !

අගමැති මඩකළපුවේ !

අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස තමන් ජනතාවගේ ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (03) දින මඩකලපුවේදී පැවසීය.

අන්තවාදීන් කිහිපදෙනෙක් එකතුව පසුගිය 21 වෙනිදා ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරිමින් ඛේදවාචකය සිදුකර ඇති බව පෙන්වා දෙන වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඒ අභියෝගය ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය.

පසුගියදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අද (03) දින පෙරවරුවේ එහි පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම කටයුතුවල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් ද එක් වූහ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් සියෝන් දේවස්ථානය වෙත වික්‍රමසිංහ මහතා පැමිණෙන විටත් අවට ප්‍රදේශවාසීන් රැසක් එම දේවස්ථානය පිහිටි භුමිය ආසන්නයට එක් රොක් වී සිටි අයුරු දක්නට ලැබිණි.

සියෝන් දේවස්ථානය සහ ඒ අවට භුමියේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ මැති ඇමතිවරු දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව එහි පූජකතුමන්ලා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.

දේවස්ථානය ඉදිරිපිට භුමියට එක් රොක්ව සිටි ජනතාව හමුවට පැමිණි වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වන්නට විය.

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක් ද මෙහිදී සිදු විය. ඒ අනුව මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක් ද, තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීම ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව තව දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

වචනයෙන් කියන්න බැරි වේදනාවක් !

පළමුවෙන්ම අපේ රජය වෙනුවෙන් මම ඔබ සියළු දෙනාටම කණගාටුව ප්‍රකාශ කරනවා. ජීවිත නැති වූ අපේ සහෝදර ජනතාවගේ පවුල්වල තිබෙන කණගාටුව, වේදනාව, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකියි. මෙය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. නමුත් අප එම තත්වයට මුහුණ දෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

මෙම සිදුවීම මට කොළඹදී දැනගන්නට ලැබුණු විට වහාම මඩකලපුවේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. නැතිවූ ජීවිත අපට නැවතත් ලබාගත නොහැකියි. එම නිසා ඇත්ත වශයෙන්ම මම නැවත නැවතත් ඒ වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.

ඛේදවාචකයට ගොදුරු වූ පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කරනවා. නැවතත් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අද හින්දු සහ ඉස්ලාම් දේවස්ථානවල යාඥා පවත්වනවා. ඉදිරියේදී කතෝලික පල්ලිවලත් යාඥා කටයුතු ආරම්භ කරනවා. ඒවගේම සඳුදා දිනය වන විට රජයේ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයට රටේ තත්වයට පාලනය කරමින් ඉදිරියට යන අතර ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අවශ්‍ය සියලූම පියවර අපි ගනිමින් සිටින බවත් පැවසිය යුතුයි.

ආරක්ෂක අංශ මේ වන විට ක්‍රියාත්මකයි !

මේ සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ දෙනෙක් දැන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැමුන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටිනවා. මෙම සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහාය ලබාදීමට විදේශ සංවිධාන පවා අපට උදව් කරනවා. එමෙන්ම නවීනතම පරීක්ෂණ උපකරණ සහ ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිත කරනවා.

මෙම කණ්ඩායමට අමතරව රට තුල තවත් රහසිගත කණ්ඩායම් තිබේද යන්න පිළිබඳවත් අප සොයා බලනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය අපේ රටින් තුරන් කිරීමට කටයුතු කරන බව මම මේ අවස්ථාවේ ඔබ සියලූ දෙනාට ප්‍රකාශ කරනවා. ඔවුන් පිළිබඳව සාමාන්‍ය ජනතාව වන ඔබ සතුවත් යම් තොරතුරු තිබෙනවා නම් ආරක්ෂක අංශ වෙත ලබාදෙන්න.

රටේ උතුරු නැගෙනහිර දීර්ඝ කාලයක සිට යුද්ධයක් ඇතිව තිබුණා. යුද්ධයෙන් පසුව අපි සාමයෙන් ජීවත් වුණා. මෙම සිද්ධියෙන් පසුව වුවත් අප සාමයෙන් කටයුතු කළ යුතුයි. මෙම ඛේදවාචකය සිදු කළේ අන්තවාදීන් කිහිප දෙනෙකු විසින්. එම නිසා අනෙක් සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනාම එකට එකතු වී එම අභියෝගය ජය ගත යුතු යැයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

ඉවසීමෙන් කටයුතු කරමු !

මෙම සිදුවීමේදී ඉවසීමෙන් කටයුතු කළ සියලුම පූජකතුමන්ලාටත්, ඒවගේම වෛද්‍යවරුන්, අනෙක් කාර්ය මණ්ඩල, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනාටම මම අවසාන වශයෙන් ස්තුති වන්ත වෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රන්ස් පියතුමා සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් ඇතුළු පියතුමන්ලා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න