Language Switcher

V2025

ශරියා විශ්වවිද්‍යාල ලංකාවට එපා - අගමැති

ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී ඊයේ (17) පැවැසීය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා, එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ අපි අද සාකච්ඡා කළා. විශේෂයෙන් මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ එම කෙටුම්පතට එකතු විය යුතු සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කළා.

තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා.

එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලූ දෙනාටම විවෘත විය යුතුයි. සියලූ දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ නීති උපදේශක බිම්බා තිලකරත්න, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරුන් වන මෙරින් පුල්ලේ, අසාත් නවාවි ඇතුළු පිරිසක් සහභාගි වූහ.