Language Switcher

V2025

ජනාධිපති සිරිසේන ධූර කාලය වැඩිකර ගැනීමේ උත්සාහයක !

ජනාධිපති සිරිසේන සිය නිල කාලය 2020 මැයි දක්වා දීර්ඝ කර ගැනීමට සැලසුම් කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සදහන් කරයි.

එය මේ අවස්ථාවේ කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ දකින බවත් සදහන් කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යොමු කරන්නට ද ඔවුන් කටයුතු කර තිබේ.

2019 /05/20 වනදා යොමුකර ඇති එම ලිපිය "ඔබතුමන්ගේ නිල කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධවයි !" යන ශීර්ෂයෙන් යුතුය.

අදාල ලිපියේ මෙසේද සදහන් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය සම්මත වීමෙන් පසු, විධායක ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන්නේ පූර්ව ජනාධිපතිවරණය පැවති 2015 ජනවාරි 8 දින සිට වසර 5 කින්ද නොඑසේනම් කතානායකවරයා 19 සංශෝධනය බලාත්මක කරමින් සිය අත්සන යෙදු 2015 මැයි මස 15 දින සිට වසර 5 කින්ද යන්න සම්බන්ධයෙන්, ඔබතුමා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්ති ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සුදානමින් සිටින බව විශ්වාසනීය ආරංචි මාර්ග මගින් අපි දැනුම්වත් වීමු.

අ) 19 සංශෝධනය සම්මත වීමෙන් පසු ඔබතුමන්ගේ නිල කාලය වසර 6ක් නොව 5ක් බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය දැනුම් දී ඇති හෙයින් ද,

ආ) 2018 වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසිරවීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු ප්‍රකාරව 19 සංශෝධනයට පෙර සහ පසු (සෛද්ධාන්තිකව සහ ප්‍රයෝගිකව) සිටින්නේ එකම ජනාධිපතිවරයා බව ගම්‍ය වන හෙයින් ද,

ඇ) ”නව ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරු පත්කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් මතය විමසන බව” ඔබතුමා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවකදී ප්‍රකාශ කළ හෙයින්, නව අග විනිසුරු පත් කිරීමෙහිලා මේ කරුණ යම් බලපෑමක් සිදු කළ බවට සාධාරණ සැකයක් ජනතා සිත් සතන් තුල පැන නැගී ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසය පලුදු වීමට එයම හේතුවක් විය හැකි හෙයින් ද,

මේ අවස්ථාවේ ඔබතුමන්ගේ නිල කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම විමසීමට අපේක්ෂා කරන්නේනම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ අපි දකිමු. ඒවෙනුවට පූර්ව ජනාධිපතිවරණය පැවති 2015 ජනවාරි 8 දින සිට වසර 5 කින් (හෝ ඊට පෙර) ජනාධිපතිවරණයක් කැඳවා ජනතා අභිලාශය මුදුන්පමුණුවා ගැනීමට ඉඩප්‍රස්ථා විවර කිරීම ඔබතුමාගේ ගෞරවයටත් රටේ යහපතටත් හේතු වන බව අපි මහත් ඕනෑකමින් ඔබතුමන්ට සැල කර සිටින්නෙමු.