Language Switcher

V2025

හදිසි නීතිය යටතේ ආරක්ෂක අංශ නීතිය හා සාමය රැක්ක හැටි මෙන්න : රෙදි තියේද ?

පාස්කු ප්‍රහාරයෙන් සති තුනක් ගෙවීයන්න ආසන්නයේ වයඹ පළාතේ ස්ථාන කිහිපයක සහ ගම්පහ මිනුවන්ගොඩ වැනි ප්‍රදේශ කිහිපයක අහිංසක මුස්ලීම් වැසියන් ඉලක්ක කර මිලේච්ඡ ප්‍රචණ්ඩත්වයක් දියත් විය.

ආරක්ෂක අංශ ඒ වැලැක්වීමට ක්‍රියා කල බව සදහන් වුවත් ඒ සියල්ල වචන පමණක් බව දැක්වීමට මේ සබැදිය සාක්ෂි දරයි. මේ ඒ තිරස්චීන ප්‍රහාරයේ පියවරක් වූ මිනුවන්ගොඩ සිදුවීමකි.

https://www.facebook.com/219430344788805/posts/2421575757907575/

ඒ ප්‍රහාර එල්ලවූයේ ඉතාම සංවිධානාත්මක ආකාරයකට දේශපාලන හස්තයක මෙහෙයවීම යටතේ බව ඉතා පැහැදිලිය.

මන්ද තුවාල ලබා සිටින අයෙකු රෝහලට ඇතුලත් කිරීමට පවා නොහැකි ආකාරයට මේ ප්‍රචණ්ඩකාරී කුළී පාදඩයන් ආරක්ෂක අංශ වෙත බාධා කරන නිසාය.

පොලිසිය සහ ආරක්ෂක අංශ විශේෂයෙන් ත්‍රිවිධ හමුදා රාජකාරි කරන විට ඊට බලපෑම් කිරීමට සාමාන්‍ය ජනතාවට නොහැකිය. ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ හදිසි නීතිය පනවා ඇති පසුබිමක මේ සිදුවීම් සිදුවීමය.

මේ දකින විට සිහියට නැගෙන්නේ හදිසි නීතිය පනවන්නේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරන පාදඩයන්ට නිදහසේ සිය කටයුතු සිදුකිරීමට ද යන පැනයයි.
නමුත් විශ්වීය පිළිගැනීම වන්නේ හදිසි නීතිය පනවන්නේ සාමාන්‍ය ජනතාවට හානි සිදුවීම අත්හිටුවීමට කියාය.

දැනටමත් මිනුවන්ගොඩ පමණක් නොව වයඹ පළාතේ ස්ථාන කිහිපයක සිදුවූ සිදුවීම් වලට අදාල දේශපාලන කුමන්ත්‍රණයේ කසකරුවන් මෙන්ම දේශපාලන බලාධිකාරයේ ආශිර්වාදය ඇතිව සාමාන්‍ය ජනජීවිතයට වින කටින කිනිතුල්ලන් අනාවරණය වී තිබේ. ඔවුන්ගේ කෙරුවාවල් දැක්වෙන වීඩියෝ සාක්ෂි පවා අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබේ.

ප්‍රශ්නය වන්නේ රටේ ආරක්ෂාව භාර මූලික වගකීම ඇත්තා ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම නොවේ.

දින 52 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය සිට පාස්කු ප්‍රහාරයෙන් සති 3කට පසුව දියත් වූ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගත් මිලේච්ඡයන් අතර ජනාධිපති සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් මාධ්‍ය හමු පැවැත්වූ නාමල් කුමාර සිටියේය. මහසොහොන් බලකායේ සාමාජිකයන් ද එහි සිට ඇත. මිලේච්ඡ ප්‍රචණ්ඩත්වය මුදාහැර වුන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී නිදහස් කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට හැකිය. එසේම පොහොට්ටු පාර්ශවයේ කිහිපදෙනකු ද මේ සදහා සහභාගී වූ බව මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ඒ හමුවේ සිරිසේන ජනාධිපති මේ ගැන නිහඬ මොකද වැනි ගොං ප්‍රශ්න අසන්න තරම් පිස්සුවක් අපට නැත.

ප්‍රශ්නය ඇත්තේ ප්‍රධාන වගකීම දරන්නාගේ මේ අදිසි නිහැඩියාව ප්‍රශ්න කිරීමට තරම් ධෛර්යයක් නොමැතිව කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ හැසිරීම ය.

සැබැවින්ම එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව මේ කරන්නේ කුමක්ද ?