විනිවිද පේන බෑග් මේනියාවක් නිසා පාසල් සිසුන්ට දැඩි දුෂ්කරතා - ලංකා ගුරු සංගමය

විනිවිද පේන බෑග් මේනියාවක් නිසා පාසල් සිසුන්ට දැඩි දුෂ්කරතා - ලංකා ගුරු සංගමය

ආරක්ෂක හේතු මත කියමින් සමහර පාසල්වල දරුවන්ට විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට ගෙන ඒමට නියම කර තිබු බවත් එසේ විනිවිද නොපෙනෙන බෑග් ගෙනා මාවනැල්ල මයුරපාද විදුහලේ දරුවන්ට දැඩි හිරිහැරයකට ලක්වීමට සිදුකර ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංගමය මේ බව සදහන් කරන අතර ඊයේ (21) දින විනිවිද නොපෙනෙන බෑග් සහිතව මාවනැල්ල මයුරපාද විදුහලට පැමිණි දරුවන්ට පාසලට ඇතුළුවීමට ඉඩ දෙනු ලැබුවේ ඔවුන්ගේ බෑග්වල ඇති පොත්, කෑම පෙට්ටි ඇතුළු දරුවන්ගේ උපකරණ බෑග්වලින් ඉවත් කර ඒවා දරුවන්ගේ අතේ රැගෙන යාමට සලස්වමින් බවත් එහි සදහන් කර ඇත.

තවද එසේ පැමිණි දරුවන්ගේ පාසල්බෑග් පාසල් ගේට්ටුව අසල බිම ගොඩගසා තිබූ අතර දරුවන් හඬමින් තම අපහසුතාවයන් ප‍්‍රකාශ කරමින් පාසලට ඇතුළු වන ආකාරය මාධ්‍ය මගින් පවා දක්නට ලැබුණු බවත් මෙලෙස විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට ගෙන ඒමට තීරණ ගැනීම මත පාසල් ගණනාවක දරුවන් මෙලෙස පීඩවාට පත්ව තිබූ අතර මෙසේ පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් දරුවන් හිරහැරයට පත් කිරීමට කිසියම් පිරිසක් කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ තත්වය තුළ මාවනැල්ල මයුරපාද විදුහලේ දරුවන් හිරිහැරයට ලක් කිරීම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට ගෙනඒමේ තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගෙන් හා අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ලංකා ගුරු සංගමය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

බොහෝ දෙමාපියන් තම දරුවන්ට අලූත් පාසල් බෑග් ලබාදෙන ලද්දේ පළමු පාසල්වාරය ආරම්භයේදීය. එසේ තිබියදී දෙවන පාසල්වාරය ආරම්භයේදී නැවත විනිවිද පෙනෙන බෑග්, බෝතල් ආදිය පාසලට ගෙනඒමට නියම කිරීමෙන් දෙමාපියන් දැඩි අපහසුතාවකට පත් වේ. එසේම බොහෝ පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් යයි පවසමින් සී.සී.ටී.වී. කැමරා ආදී උපකරණ සඳහා පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කෙරෙමින් පවතී. පාසල් ආරක්ෂාව සඳහා මෙවැනි විධිවිධාන යොදන්නේ නම් එම උපකරණ නොමිලේ පාසල්වලට ලබාදීමට කටයුතු කළ යුතුය. එසේ නොමැතිව දරුවන්ට හිරහැරවන පරිදි හා දෙමාපියන්ට බර පැටවෙන පරිදි එවැනි කටයුතු සිදු කිරීම ගැටලූ සහගතය.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර දරුවන්ට හිරිහැර නොවන පරිදි හා දෙමාපියන්ට බර නොපැටවෙන පරිදි පාසල් ආරක්ෂක කටයුතු කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න