ආරක්ෂක අංශ විසින් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් අද (29) උදැසන අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔහුගේ නිවසේ තිබී බොර තුවක්කුවක උණ්ඩ සොයා ගැනීම හේතුවෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ උණ්ඩ 93ක් සොයා ගත් බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අලී හසන් මහතාගේ පුත්‍රයකු පවසා ඇත්තේ , ආරක්ෂක අංශ විසින් අද උදැසන මල්වාන ප්‍රදේශයේ නිවෙස් සොදිසිකල අවස්ථාවේදී සිය නිවස ද පරික්ෂා කළ බවයි. එ් අවස්ථාවේ සිය නිවසේ සිවිලිමේ තිබි බොර තුවක්කුවක උණ්ඩ සොයාගත් බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පැවසිය.
“මේ ගෙදර අපේ සීයාගේ. ඒ කියන්නේ, අපේ අම්මගේ තාත්තා. අපේ සීයාට බොර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සීයා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සීයා මියගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.
සීයා ඒ තුවක්කුවට අදාළ උණ්ඩ වහලේ සඟවලා තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුණා, ඒක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.
අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උණ්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ.''
මෙම උණ්ඩ වසර 35ක් හෝ 40ක් පමණ පරණ බව අපි දන්නවා. ඒත් ඒ පිළිබඳ ඉක්මනින් පරීක්ෂණයක් සිදුකොට රටට ඇත්ත ප්‍රකාශ කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
(Theleader .lk )

