ද්‍රවිඩ සන්ධානයට මෝදි දුන්න පොරොන්දුව මෙන්න !

ද්‍රවිඩ සන්ධානයට මෝදි දුන්න පොරොන්දුව මෙන්න !

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ ඊයේ (9) පොරොන්දු වී තිබේ.

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ පස්වරු 2.00ට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් හමුවිය.

ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේ මිනිත්තු 8 ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්,එම්.ඒ.සුමන්තිරන්,සෙල්වම් අඩෙයිකලනාදන්,මාවෙයි සේනාධිරාජා සහභාගීව ඇත.

ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසදුම් ගෙන ඒමේ අරමුණින් 1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුකූලව පුළුල් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකර නැති බවත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත නොබෙදුණු එක්සත් ලංකාවක් තුළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථීර විසදුමක් වශයෙන් ලබාදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි.

තමන් ඒ බව දන්නා බවත් දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයට මෙහිදී පොරොන්දු වී තිබේ.

එමෙන්ම පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් නවීකරණය කර ඉන්දියාව හා පලාලි අතර ගුවන් සේවයක් අරඹන ලෙසට දෙමළ ජාතික සන්ධානය කරන ලද ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කරන බවද මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මීට අමතරව උතුරේ ජාතික ගැටළුව ඇතුළු දෙමළ ජනතාවගේ ගැටළු හා ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් නව දිල්ලියේ දී හමුවී සාකච්ඡා කළයුතු බවට දෙමළ ජාතික සන්ධානය මෙහිදී ඉන්දීය අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ එම ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා කඩිනමින් අවස්ථාවක් සලසා දෙන බවට ඉන්දීය අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න