පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සූදානමක් !

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සූදානමක් !

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අවසන් බව දන්වා ඒ හරහා පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතුත් අවලංගු බවට දැනුම්දීමට ජනාධිපති සිරිසේනගේ සූදානමක් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කුමන්ත්‍රණය අවස්ථාවේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළා !

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති සිරිසේන විසින් අවසන් කරනු ලැබුවේ, 2018 ඔක්තෝබර් 27 වනදාය. එසේත් නැත්නම් 2018 ඔක්තෝබර් 26 දියත්කල ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවට සමගාමීවය.

ඒ අනූව ජනාධිපති සිරිසේන ඇතුළු ඔහුගේ උපදේශකයන් තමන්ට හුරු පුරුදු තුරුම්පුවක් සමඟ මේ පාස්කු ප්‍රහාරයට අදාළ පාර්ලිමේන්තු විමර්ශනය අවසන් කිරීමේ කටයුත්ත සිදුකරන්නට යන බව පෙනී යන බවත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සිරිසේනට ආයෙත් වැරැදි උපදෙසක් !

ව්‍යවස්ථා ක්‍රීඩාවේදී ජනාධිපති සිරිසේන මේ වතාවේදීත් වරද්දාගන්න නියමිත බව සදහන් කරන දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියේ
අටවෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අවසන් කළත් පාර්ලිමේන්තු විමර්ශනය අවසන් කිරීමට එය හේතුවක් නොවන බවයි.

මන්ද සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක් ජනාධිපති විසින් අවසන් කළ විට පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා ගණනාවක් අහෝසි වන නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වෙන්නේ තේරීම් කාරක සභාවක් ලෙස බවත් ඒ නිසා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළත්, මේ තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් වන්නේ නැති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව ඊට අඛණ්ඩව රැස්වී විමර්ශනය කරගෙන යාමට හැකියාව පවතියි.

මේ බව නිදර්ශන සහිතව පෙන්වාදෙන එම ආරංචි මාර්ග මෙසේද පවසයි.

අටවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ඔක්තෝබර් 27 අවසන් කළ අතර ඒ සමඟ අනෙක් කාරක සභා අවසන් වුනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අවලංගු වූයේ නැත. ඒ එයත් තේරීම් කාරක සභාවක් ලෙස ක්‍රියාත්මක වු නිසාය. අන්න එවැනි තත්ත්වයක් මෙහිදීත් ක්‍රියාත්මක වීමට නියමිතය.

විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු පාලනය කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට පමණි !

ඒ අර්ථයෙන් යම් හෙයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක් හෝ කල්තබන ලද අවස්ථාවක වුවත් තේරීම් කාරක සභාව පවත්වාගෙන යෑමට බලය තිබේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු පක්ෂවල ඉල්ලීමකට අනුව, පක්ෂ නායකයන්ගේ එකඟතාව මත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අදාළ කාරක සභාව පත් කෙරිණි.

එහෙයින් මෙම විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයා, අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න